Saturday, June 24, 2017

අවධානමට අත වනන "සෙල්ෆි උන්මාදය"


“අනේ ඔන්න ලස්සනට ඉන්න... හිනාවෙන්නකෝ...”මේ අද වර්තමාන සමාජයේ බාල මහළු සෑම දෙනාගේම මුවින් පිටවෙන වදනකි. ඔබටත් එසේ පවසමින් සෙල්ෆි ගැසීමට ආරාධනා ලැබෙන්නට ඇති. වර්තමානයේ ජංගම දුරකථනයක් අතැති ඕනෑම අයෙකු වයස් භේදයකින් තොරව මෙම සෙල්ෆි ගැසිමේ ක්‍රියාවට පෙළඹී ඇත.

තාරුණ්‍යයේ උන්මාදයක්ව අපි දුටු මෙම සෙල්ෆි මාෆියාවට වර්තමානයේ වයස්ගත ආච්චි සීයාද ඇබ්බැහි වීම හාස්‍යයට මෙන්ම පුදුමයට කරුණක් වී තිබුණද, අද සත්‍යය එයයි. ඔවුන්ට එය විටෙක විනෝදාත්මක දෙයක් වීමට හැකිය. අද වන විට මෙවැනි තත්ත්වයක් උද්ගත වී ඇත්තේද නව ජංගම දුරකථන වෙළඳ පොළෙහි විකිණීමට තිබීමත් හා අතීතයේ පැවැති එකිනෙකා අතර පැවැති සහසම්බන්ධතාවයන් ක්‍රමයෙන් අද වන විට දුරස් වීමත් හෙයිනි. එවිට ඕනෑම අයෙකු තමාටම කියා දුරකථනයක් භාවිත කිරීමට කැමැත්තක් දක්වන්නේය. මේ නිසා වයස් භේදයකින් තොරව බාල මහළු සෑම කෙනෙකුම අධික මුදල් වියදම් කර ජංගම දුරකථන මිළදී ගනියි. ඒ හරහා එකිනෙකා අතර ගොඩනැඟෙන සම්බන්ධතාවය ඉහළ යෑමක් අපට දැක ගත හැකිය. නමුත් මේ නිසා සිදුවන අනතුරු විනාශ ඒ අනුවම ඉහළ යන බව සමාජයේ බොහෝ දෙනෙක් පවසති. එය සත්‍යයක් වුවද සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට යෑම අතින් තවමත් අප ප්‍රමාදය. 

වෙනස්වන ලෝක යථාර්ථය සමඟ මානව සමාජයේ අපේක්ෂා හා අවශ්‍යතාද පරිණාමය වේ. ඒ අනුව සන්නිවේදන අවශ්‍යතාවයද එක් වී ඇති බව මුලින්ම වටහා ගනු ලැබුවේ නෙල්සන් මැන්ඩලා ය. 1995 දී දකුණු අප්‍රිකාවේ නව ජංගම දුරකථන ජාලයක් විවෘත කරමින් ඔහු කළ කථාවක පවසා සිටියේ “එකිනෙකා සමඟ සබඳතා පවත්වා ගැනීමට අප කවුරුත් ඉතා කැමතියි. එය මූලික මානව  අවශ්‍යතාවයක්” යනුවෙනි. එමඟින්ද අපට තහවුරු කෙරෙන්නේ ජංගම දුරකථනය වනාහි ජීවිත විනාශ කරන්නට හඳුන්වා දුන් උපකරණයක් නොව එකිනෙකා අතර සහසම්බන්ධතා ගොඩනඟා ගැනීමට උදව් වන උපකරණයක් බවයි. 
  
ඒ අනුව ජංගම දුරකථනයක් භාවිත කිරීම අනුවණ ක්‍රියාවක් යැයි කිසිවෙකුට පැවසිය නොහැක. සංවර්ධිත රටවල් අතර ඇමරිකාව, චීනය වැනි රටවල දුරකථන නිෂ්පාදනය හා අළෙවිය තරඟකාරීව සිදු කෙරේ. එරට ජනතාවද ජංගම දුරකථන භාවිතය වැඩි වශයෙන් දැක ගත හැකිය. නමුත් අපේ රට තරම් සෙල්ෆි මාෆියාවකට ජීවිත බිලි දීමක්නම් මේ වන තෙක් ඒ රටවල්වලින් වාර්තා වී නොමැත. “රටක සංවර්ධනය එරට වැසියාය.” ඒ නමුත් රටේ වැසියා ජංගම දුරකථනයක් භාවිත කළ පමණින් එරටට වන හානිය කුමක්ද? කළ යුත්තේ දුරකථනය නිසියාකාර භාවිතයට තබා ගැනීමය. සමාජයේ උගත් නූගත් සෑම කෙනෙක්ම ජංගම දුරකථනයට ඇබ්බැහි වීම නම් ජීවිත විනාශයට ප්‍රධාන හේතුවයි.

වර්තමාන බොහෝ තරුණ පිරිස් විවිධ මාදිලියේ ජංගම දුරකථන මිළදී ගැනීමේදී ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ දුරකථනයෙන් ඡායාරූප ලබා ගැනීමට පැහැදිලි කැමරාවක් අනිවාර්යෙන්ම තිබීමයි. ඒ අනුව SAMSUNG, OPPO, Apple, Lenovo ආදී විවිධ වර්ගයේ ජංගම දුරකථන මිළදී ගනියි. ඒ සඳහා අධික මුදලක් වියදම් කිරීමටද ඕනෑම අයෙකු දෙවරක් නොසිතයි. තරුණ කාන්තාවන් විලාසිතා කරන්නට දක්වන්නේ දැඩි කැමැත්තකි. ඒ නිසාම ඔවුන් විවිධ ඇඳුම් පැළඳුම් මිළදී ගැනීමට ඉහළ පන්තියේ කඩ සාප්පු වෙත යයි. එසේ යන ඔවුන්ට සෙල්ෆියක් අන්තර්ජාලයේ පළ කිරීමට ගත වන්නේ සුළු වේලාවකි. වැඩි මුදලක් වියදම් කර මිළදී ගත් ඇඳුම් ඇඳ ගත් විගස සෙල්ෆි ගසන්නට ඔවුන් අමතක නොකරයි. ඒ වගේම ෆේස් බුක් හෙවත් මුහුණු පොත හරහා එම ඡායාරූප පළ කරමින් යහළුවන්ගෙන් ඛසනැල ක්‍දපපැබඑ බලාපොරොත්තු වන්නේ තම පෞද්ගලික ජීවිතද මුදලට විකුණාය. ඒ තුළින් ඔවුන් ලබන්නේ මානසික තෘප්තියකි. බොහෝ පිරිස් එදිනෙදා සිදු කරන සියළු කාර්යයන් ෆේස් බුක් හරහා ප්‍රසිද්ධියට පත් කරයි. එසේ සිදු කරන්නේ තවකෙකුගේ ආධාරයක් අවශ්‍ය නොවන මේ සෙල්ෆි නම් වූ තවත් එක් ආකාරයක ස්වයං වින්දනය හරහාය. 

සෙල්ෆි ගැනීමට පෙළඹෙන ප්‍රමාණය දිනෙන් දින වැඩි වීමත් සමඟ වර්තමනයේ අපට බොහෝ ආන්දෝලනාත්මක හා ශෝචනීය සිද්ධීන් අසන්නට දකින්නට ලැබුණි. දෙමව්පියන්ට දරුවන් අහිමි වීම, ස්වාමියාට බිරිඳ අහිමි වීම පමණක් නොවේ, මේ මුළු රටක් වෙනුවෙන් සේවය කරන්නට ජනතාව වෙනුවෙන් බැඳී සිටි ඒ මහනුවර කුරුප්පුවල ප්‍රදේශයේ පදිංචිව සිටි වෛද්‍යවරයාද ශෝචනීය ලෙස මරණයට පත් වූයේ මෙම සෙල්ෆි ගැසීමේ ආශාව මතය. සෙල්ෆි ගැසීම වරදක් නොවේ. නමුත් අපි අපේ ජීවිතය ගැන පළමුව සිතිය යුතුය. සෙල්ෆි ගැනීමට ප්‍රථමව තමා සිටින්නේ කොහිද?, තමා අවට සිටින්නේ කවුද? යන්න වඩාත් සැළකිලිමත් විය යුතුය. ඒ සඳහා යහපත් මානසිකත්වයක් පැවතීම අනිවාර්ය වේ. විශේෂයෙන්ම දුම්රිය මාර්ගයේ සෙල්ෆි ගැනීම අවදානම් බව මතක තබා ගත යුතුය. 

මේ සෙල්ෆි මාෆියාවෙන් මේ වන විට මාරයාට බිලි  ඇති ජීවිත ප්‍රමාණය කීයක්දැයි මෙහොතකට ඔබත් සිතා බලන්න. සෑම අයෙකුටම නිදහසේ ජංගම දුරකථන භාවිත කළ හැකි අවධියක ඒ නිදහස මරණයට අත වැනීමක් නොවන්නට හැම විටෙකම කල්පනාකාරී වන්න.

මෙවැනි සෙල්ෆි ගැනීමෙන් වළකින්න 






     










Monday, June 19, 2017

නිවසේ ගෘහණිය ඉලක්ක කර ගත් සෝප් ඔපෙරා

සෝප් ඔපෙරා හෙවත් සබන් නාට්‍ය කියන්නේ තවත් එක් සුවිශේෂී නාට්‍ය විශේෂයක්. මේ නාට්‍ය වර්ගය අපි මුලින්ම හඳුනා ගන්නේ ගුවන් විදුලි මාධ්‍ය තුළින් වගේම රූපවාහිනි මාධ්‍ය තුළින්. නමුත් තව දුරටත් අධ්‍යයනය කිරීමෙන් අපිට තහවුරු කළ හැකි වැදගත් කරුණක් තමයි මේ සෝප් ඔපෙරා ඒ මාධ්‍යයන් දෙකේ පළ වීමට කළින් පුවත්පත්වල නව කතා කොටස් වශයෙන් හා සිනමා නිර්මාණ කොටස් වශයෙන් පළ වී තියෙන බව. මේ කරුණුවලින් සනාථ කෙරෙනවා සෝප් ඔපෙරාවක් කියන්නේ ඉතාමත් දිගු නාට්‍ය විශේෂයක් කියල.

රොබට් ඇලන් නම් මාධ්‍ය විචාරකයා පවසා තියෙනවා සෝප් ඔපෙරාව ආර්ථික විධානයන් සඳහා සෑම කලකදීම ආඛ්‍යානාත්මක පඨිතයක් වන බව. එනම් වෙළඳ පොළෙහි අවශ්‍යතා පදනම් කරගෙනයි මෙම සෝප් ඔපෙරා නිර්මාණය වී තියෙන්නේ. මෙම නාට්‍ය විශේෂය නිවසේ කාන්තාව ඉලක්ක කර ගැනීම විශේෂයක්. ඒ අනුව කාන්තාවගේ නිදහස් කාල පරිච්ඡේදය ඒ සඳහා වෙන් වී තියෙනවා. 30 දශකයේ මුල් භාගයේදී සිදු කෙරෙණු සමීක්ෂණයකට අනුව ගෘහණියන් ඉතා හොඳ ඉලක්ක ග්‍රාහක පිරිසක් හා වෙළඳ පොළක් බවට හඳුනා ගෙන තියෙනවා. එම සමීක්ෂණයේ ප්‍රථිඵල අනුව ගෙදර දොර භාවිත කරන උපකරණ අතරින් ගෘහණියන් රෙදි මදින ඉස්ත්‍රික්කයට අමතරව දෙවැනි ස්ථානය දී තිබුණේ ගුවන් විදුලියට බව හෙළි වී තියෙනවා. මුල් කාලයේදී කාන්තාවන් ගුවන් විදුලිය ඔස්සේ සෝප් ඔපෙරාවන්ට සවන් දීම නිසා එසේ පවසනවා. මේ අනුව සෝප් ඔපෙරාව මුළුමනින්ම ගෘහණියන් ඉලක්ක කර ගත් ගුවන් විදුලි වාණිජ නිෂ්පාදනයක් ලෙස හඳුනා ගෙන තියෙනවා.

සෝප් ඔපෙරාවේ ඇති වාණිජ ලක්ෂණ 03ක් ජේම්ස් එච්. විට්ටබෝල්ස් විසින් හඳුනා ගනිමින් ඉදිරිපත් කර තියෙනවා. . එනම්,

නිෂ්පාදනය කිරීමට වැය වන පිරිවැය අඩු වීම.
ග්‍රාහකයන් රඳවා තබා ගැනීමට ඇති ඉහළ හැකියාව.
මාධ්‍ය ආයතන සඳහා වෙනත් වැඩසටහන්වලට සාපේක්ෂව ලාභදායී වීම.

මෙම වාසි ලබා ගනිමින් අපට මුල් කාලීනව දක්නට ලැබුණු සෝප් ඔපෙරාවක් වූයේ “දූ දරුවෝ”. සෝප් ඔපෙරාවක ලක්ෂණ පිළිඹිබු කෙරෙන නාට්‍ය වර්තමානයේ අපට දක්නට ලැබෙන්නේ මෙගා ටෙලි නාට්‍ය වශයෙන්. නමුත් අපට පුළුවන් එම නාට්‍ය සෝප් ඔපෙරා වශයෙන් හඳුන්වන්න. මේ නාට්‍ය තුළ එක් සුවිශේෂී කාන්තාවක් කැපී පෙනේ. දූ දරුවෝ නාට්‍යයෙහි “දීප්ති” යන චරිතය ඒ නාට්‍යයෙහි විශේෂිත විය. ඒ සඳහා රංගනයෙන් දායකත්වයෙන් ලබා දී ඇත්තේ නිල්මිණි ෆොන්සේකා මහත්මිය. ඇය පවසා තියෙනවා එම නාට්‍ය තුළින් ඇය බොහෝ අතදැකීම් ලබා ඇති බව. ඇය එලෙස පවසා සිටින්නට ඇත්තේ එම නාට්‍ය බොහෝ කාලයක් විකාශනය වීම නිසා වෙන්නට පුළුවන්. ඕනෑම නළුවෙකුට සහ නිළියකට තම රංගන ජීවිතය තුළ අත්දැකීම් බහුල වීමට නාට්‍යයක නිෂ්පාදන කාල සීමාව අනිවාර්යයෙන්ම බලපානවා. සෝප් ඔපෙරාවක නිරූපිත නළු නිළියන් ලබන අත්දැකීම් සාමාන්‍ය ටෙලි නාට්‍යයක රඟපෑමෙන් ලබා ගත නොහැකි වීම ඊට හේතුවයි. 

වර්තමාන රූපවාහිනී ටෙලි නාට්‍ය කලාවට අවධානය යොමු කළොත් අපට පුළුවන් දැක ගන්න එවැනි සෝප් ඔපෙරා. දෙරණ, හිරු හා සිරස රූපවාහිනී නාළිකා ඔස්සේ එවැනි නාට්‍ය බොහොමයක් අපට දැක ගත හැකි වෙනවා . එක් නාට්‍යයක් විනාඩි 30ක කාලයක් විකාශනය වෙමින් සම්පූර්ණ පැය දෙකක් හෝ ඊට වැඩි කාලයක් මෙම නාට්‍ය විකාශනය වෙනවා. ඒ ආකාරයට මීට පෙර සිරස නාළිකාවේ “රන් දෙපැය” වෙන් වූයේ මහ ගෙදර, වසූදා, ප්‍රවීණා යන නාට්‍ය වලටයි. අද වන විට අපට සෝප් ඔපෙරා වශයෙන් දැක ගත හැකි වන්නේ ආදරෙයි මං ආදරෙයි, සඳහටම ඔබ මගේ, මේ ආදරයයි, ස්වප්නා ආදි නාට්‍යයයි.  මේ සෑම නාට්‍යයකම එක් සුවිශේෂී කාන්තාවක් කැපී පෙනෙනවා. ඒ අනුව අද හැමදෙනාම අතර ප්‍රසිද්ධ චරිත වන්නේ ඉහත කතාවල රඟපාන ඉෂාණි, ස්වප්නා, ඉෂිතා ආදී චරිතයි. මෙම සෝප් ඔපෙරාවල කාන්තාව ඉලක්ක කර ගැනීමට යොදා ගත් ක්‍රමෝපායන් බොහෝ තියෙනවා. ඒ නිසා තමයි වර්තමාන කාන්තාව මෙම නාට්‍ය නැරඹීමට විශේෂ හේතුව. ඒ අනුව,

අලංකාර ඇඳුම් පැළඳුම්
අලංකාර ලෙස පිළිවෙළකට සකසන ලද නිවෙස්
නිර්භීත කාන්තාවක්
තම ස්වාමියා හෝ පෙම්වතා වෙනුවෙන් දිවි පරදුවට තබා කටයුතු කරන කාන්තාවක්
ප්‍රධාන කාන්තාවට අමතරව අනෙක් කාන්තාවන්ද ආකර්ෂණීය ඇඳුමෙන් හා ආභරණවලින් සැරසීම

දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම එම නාට්‍ය කාන්තාවටම සුවිශේෂ වීම ප්‍රධාන හේතුවක් වන්නේ කාන්තාවන් බොහෝ ප්‍රිය කරන ආකාරයේ ඇඳුම් පැළඳුම් එමඟින් දැක ගත හැකි වීමයි. නිවසටම හැඳ සිටින ඇඳුමෙන් හදිසියේ නිවසින් පිටත යාමටද හැකි වන පරිදි එම ඇඳුම් නිර්මාණය වී තිබීම එහි විශේෂත්වයක්. එම නාට්‍ය තුළ,

■ පවුල් ජීවිතය
■ පුද්ගල සම්බන්ධතා
■ ආවේගාත්මක හා සදාචාරාත්මක ගැටුම්

යන වස්තු විෂයන් ඔස්සේ එම කතාංග ගෙතී තියෙනවා. සෝප් ඔපෙරාවන් ලෙස හඳුනා ගන්නා මෙම නාට්‍යයන්ට විෂය කර ගන්නා කතා පුවත් කිසියම් පවුලක් හෝ ඊට සම්බන්ධ ඥාාතීන්, හිත මිතුරන් එසේත් නැතහොත් කාර්යාලයක් හෝ සම්බන්ධ ජීවත් වන අසල්වාසීන් පිරිසක් ආදී වශයෙන් වු සමාජ කණඩායම් වටා කතාව ගලා යෑමක් අපට දැක ගන්න පුළුවන්. ඒ තුළ එදිනෙදා සාමාන්‍ය ජන ජීවිත පිළිඹිබු කරලීම තුළ කාන්තාවන් තව දුරටත් ඒ කෙරෙහි ආකර්ෂණය වීමක් සිදු වෙනවා. ඒ නිසා මෙම නාට්‍ය නැරඹීමට බොහෝ කැමැත්තක් දක්වන කාන්තාවන් රාත්‍රියේ ආහාර පිසින අතරතුරදී වුව නාට්‍ය නැරඹීම දක්නට පුළුවන්. මෙම නාට්‍ය එක දවසක් හෝ නොබැලුවාට තේරුම් ගැනීමේ අපහසුවක් නෑ. දින කිහිපයක් නොබලා අතරමඟදී බැලූ පමණින් තේරුම් ගත හැකි වන පරිදි මෙම නාට්‍ය නිර්මාණය වීමත් කාන්තාවන්ට පහසුවකි. මන්ද නිවසේ ගෘහණියන් දිනපතා නිවස තුළ සිදුකරන කාර්යයන් සමඟ නාට්‍ය නැරඹීම විටෙක මඟ හැරෙන්නට ඉඩ තියෙනවා. ඒ නිසා කාන්තාවන් කවදා කොතනින් කතාව නැරඹීමට පටන් ගත්තද ඔවුන්ට කතාව තේරුම් ගැනීමට හැකි වීම නිසාම ඔවුන් මෙම නාට්‍ය නැරඹීමට විශේෂ කැමැත්තක් දක්වනවා.  








Thursday, June 15, 2017

අැසිපිය ගසන මළමිණිය



ඇයගේ නම රොසලියා ලොම්බාර්ඩෝ වේ. 1920 වර්ෂයේ දී ඇය මිය යන විට වයස අවුරුදු 2ක කුඩා දැරියෙකි. තම දියණියගේ අකල් මරණය දරා ගත නොහැකි වූ පියා Alfredo Salafia නම් ප්‍රසිද්ධ එම්බාම් කරන්නා වෙත ගොස් පැවසූයේ තම දියණියගේ මෘත දේහය සංරක්ෂණය කර දෙන ලෙස ය. Alfredo Salafia  දක්ෂ එම්බාම්කරුවෙකු මෙන්ම දක්ෂ චර්ම ශිල්පියෙකු ද විය. ඔහු ඒ සඳහා කෙතරම් දක්ෂ වී යත් රොසලියාගේ මරණයෙන් පසුව වසර සිය ගණනක් යන තුරු ඇයගේ මෘත දේහය සංරක්ෂණය කිරීමට කටයුතු කරන ලදි. මෙම පුංචි දැරියගේ දේහය මේ වන විට ඉතාලියේ Palermo හි Capuchin Catacombs වල වීදුරු පෙට්ටියක තබා ඇති අතර ඇයගේ කුඩා කම්මුල් අප්‍රියාකාරයෙන් ඉදිමී ඇත. දුඹුරු පැහැති කොණ්ඩය කුඩා සිල්ක් බෝ එකකින් ගැට ගසා ඇත. ඇයගේ අභ්‍යන්තර අවයව කිසිඳු පීඩාවකට හසු නොවී ඇති බවද X- ray පරීක්ෂණය මඟින් තහවුරු වී ඇත. "Sleeping beauty" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන රොසලියා ලැම්බාර්ඩෝ ලොව විශිෂ්ඨතම සංරක්ෂිත මළ සිරුර ලෙස හඳුන්වනු ලබයි. 

ඇයගේ සංරක්ෂිත මළ සිරුර ඉතා ආකර්ෂණීය වන අතර ඇයව නැරඹීමට පැමිණෙන නරඹන්නන් පවසනුයේ ඇය ඇසිපිය ගසන බවයි. ඇයගේ නිල් පැහැති ඇස් ද අනෙකුත් ශරීර අවයව මෙන්ම කිසිඳු හානියකට පත් නොවී ඇති අතර Catacombs නම් මඳ ආලෝකයේ දිලිසෙන අයුරු දක්නට ලැබේ. බිම් ගෙය තුළ පවතින උෂ්ණත්වයෙහි වෙනස්වීම් ඇයගේ ඇසිපිය හැකිළීම සිදු කරන බව විශ්වාසයයි. නමුත් Capuchin Catacombs හි පාලකයා වන Dario Piombino- Masculi පවසන්නේ වෙනස්ම මතයකි. ඔහු විශ්වාස කරන ආකාරයට ඇයගේ ඇසිපිය ගැසීම සිදු වන්නේ ජනේලයෙන් පැමිණෙන ආලෝකයෙන් සිදු කරන ප්‍රකාශන මායාවකිනි බව පවසයි. දින ගෙවී යත්ම ආලෝකයෙන් පැමිණි දිශාවන්හි වෙනස් වීමත් සමඟ ඇසිපිය ඇරීම හා පියවීම දිනය පුරා සිදු වේ.

Piombino Mascali 2009 වර්ෂයේදී මෙය සොයා ගත් අතර ඔහු පවසන ආකාරයට රොසලියාගේ ඇසිපිය සම්පූර්ණයෙන්ම නොවැසේ. එහි කම්කරුවන්  ඇයගේ මිනී පෙට්ටිය වෙනත් තැනකට ගෙන යාමේදී මෙම ඇසිපිය ගැසීම ඉතාමත් පැහැදිලිව දැක ගත හැකිය. Piombino Mascaliයන්ගේ ගවේෂණය වූයේ Alfredo Salafia විසින් රොසලියාගේ ශරීරය සංරක්ෂණය කිරීමට යොදා ගත් රහස් ක්‍රමවේදය සොයා ගැනීමයි. ඒ සඳහා Piombino Mascali ඔහුගේ නෑදැයින් සමඟ සාකච්ඡා කිරීමටත් ඔහුට අයත් ලිපි ලේඛන සොයා ගැනීමටත් කටයුතු කරන ලදි. අභ්‍යන්තර අවයව ඉවත් කර ශරීර අභ්‍යන්තරයට natron ලුණු දමා මළ සිරුර වියළීමට හරින සම්ප්‍රදායික ක්‍රමය ඉවත් කර ශරීරයෙහි කුඩා සිදුරු විද ශරීරය තුළට ෆෝමලින්, සින්ක් ලුණු, මධ්‍යසාර, සැලිසයිලික් ඇසිඞ් සහ මිසරින් එකතු කර Salafia විසින් සාදන ලද මිශ්‍රණයක් ශරීරයට එකතු කර තිබේ. මෙම සංඝටක වලින් සාදන ලද මිශ්‍රණය සිදු කර ඇත්තේ විශිෂ්ඨ සේවාවකි. ෆෝමලින් මඟින් සියළුම බැක්ටීරියා විනාශ කිරීම, මියරින් මඟින් වියළීමට නොදී ආරක්ෂා කිරීම සහ සැලිසයිලික් ඇසිඞ් යොදා ගැනීම නිසා ශරීරයේ ඇති මාංශමය කොටස් දිලීර වලින් ආරක්ෂා කිරීමත් සිදු වේ. මීට අමතරව සින්ක් ලුණු යොදා ගැනීම මඟින් ඇගේ කම්මුල් හා නාස් කුහර තව දුරටත්  ආරක්ෂා වී ඇත. සිසිලියේ (Cicily) Catacombs හි පිහිටි අටදහසක් පමණ මළ සිරුරු අතරින් එකක් ලෙස "Sleeping beauty" හැඳින්විය හැකිය.




                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                 


ඔබ දන්නවාද?

01. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනයේ පලාපෙති වලින් නියෝජනය කරන්නේ පාරිශුද්ධභාවයයි.
02. අම්බලන්ගොඩ ප්‍රදේශය ලී කැටයම් හා වෙස් මුහුණු සඳහා ප්‍රසිද්ධ වේ.
03. ශ්‍රී ලංකාවේ ජාතික කොඩියේ දිග පළල මෙන් දෙගුණයකි.
04. අතීතයේ ජනනාථපුරම් ලෙස හඳුන්වා ඇත්තේ පොළොන්නරුවයි.
05. කළු ගඟ මුහුදට වැටෙන ස්ථානය කළුතර වේ.
06. දැනට ඉදිකරමින් පවතින කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය හඳුන්වන්නේ E4 ලෙසයි.
07. “කැළෑ හඳ” සිංහල නව කතාවක් ඇසුරින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම චිත්‍රපටයයි.
08. ශ්‍රී ලංකාවේ වැඩිම ජල ධාරිතාවයක් රැගෙන යන ගඟ කළු ගඟයි.
09. ජාත්‍යන්තර සංවිධාන වැඩිම ප්‍රමාණයක මූලස්ථානය පිහිටා ඇති නගරය වන්නේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරයි.
10. චන්ද්‍ර වර්ෂයක් සඳහා පෘථිවි දින 687කි.
11. ලෝකයේ විශාලම වරායන් වැඩිම ප්‍රමාණයක් පිහිටා ඇති රට චීනයයි.
12. ශ්‍රී ලංකාවේ කැබිනට් ඇමතිවරු ගණන 47කි. ඉන්දියාවේ කැබිනට් ඇමතිවරු ගණන 26කි.
13. ලෝකයේ සැහැල්ලුම චන්ද්‍රිකාව වන “Kalaam Sat” නිර්මාණය කරන ලද්දේ ඉන්දියාවයි.
14. සිංහරාජ වනාන්තරයෙන් අළුතින් සොයා ගත් ශාකය කන්නන්ගර ලෙස නම් කර තිබේ.
15. විදේශ තානාපති ධූරයට පත් වූ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව ලොරනි සේනාරත්න මහත්මියයි. 
16. රක්තපාත රෝගය ඇති වීමට විටමින් ඊ ඌණතාවය හේතු වෙයි.
17. වැඩිම නොබෙල් ත්‍යාගය හිමි පිරිසක් සිටින රට ඇමරිකාවයි.
18. කාන්තාවන්ට සිදුවන අසාධාරණයන්ට එරෙහිව සටන් වදින රෝස කල්ලිය නැමැති සංවිධානය ක්‍රියාත්මක රට ඉන්දියාවයි.
19. ශ්‍රී ලංකාවේ නානායක්කාර රාජ වංශයේ ප්‍රථම රජතුමා වන්නේ ශ්‍රී විජය රාජසිංහ රජතුමාය.
20. වර්තමානයේ මුතු බෙල්ලන් අපනයනයෙන් වැඩිම ආදායමක් ලබන රට වනනේ පකිස්ථානයයි.

Monday, May 22, 2017

නේපාලයේ මස්ටෑන්වල ගුප්ත ගුහා

ටිබෙට් සානුවට මායිම්ව පිහිටා ඇති මස්ටෑන්ග් රාජධානිය නේපාලයේ හිමාලය කඳු වැටියේ පිහිටි හුදෙකලා සහ අප්‍රසිද්ධ ප්‍රදේශයකි. බෞද්ධ රාජධානියක් වශයෙන් පැවැති මස්ටෑන්ග් 18වන සියවසේදී නේපාලය විසින් අත්පත් කර ගනිමින් නේපාලයට ඒකාබද්ධ කර ගත්තද 1950 වන තුරු වෙනම රාජ්‍යයක් වශයෙන් පැවතුණි. මාස්ටෑන්ග් රාජධානියේ පැවැති සංවේදී දේශසීමා නිසා 1992 වන තෙක් එය විදේශිකයන්ට සීමා රහිත ප්‍රදේශයක් බවට පත් වී තිබුණි. නේපාලයට වඩා ටිබෙටයට සමීපව තිබූ මස්ටෑන්ග්හි සාපේක්ෂ හුදෙකලා බව නිසාම එෛතිහාසික සංස්කෘතිය ආරක්ෂා විය.

මෙහි භූමි දර්ශනය කෙතරම් සුවිශේෂීද කිවතොත් නේපාලයේවත් එවැනි භූමියක් නොමැත. කාලි ගන්ධකී ගංඟාවෙන් කැටයම් කළ ගැඹුරු දුර්ගයන් සහ අත්භූත ආකාරයෙන් කැටයම් කරන ලද පර්වත මෙම භූ දර්ශනයට අයත්ය. ප්‍රාන්තයන්හි මුහුණුවරින් කියාපානුයේ වසර 10000කට වඩා පැරණි ගුහාවන් එහි තිබෙන බවයි. ඉන් සමහරක් සානුවේ සිට අඩි 150කට වඩා උසකින් පිහිටා ඇත. එම ගුහාවන් නිර්මාණය කළේ කවුදැයි කිසිවෙකු නොදනී. එපමණක් නොව එම ගුහා පිහිටා ඇති පරිද්දෙන් ඒවා තිරස්ව නියමිත මිම්මට නිර්මාණය කර ඇත්තේ කවුදැයි නොදනී.
අත්දැකීම් සහිත කඳු නඟින්නන්ට පවා සමහර ගුහාවලට ළඟා වීමට නොහැක. අද වන විට බොහොමයක් ගුහා හිස්ව පැවතියත් අනෙකුත් ගුහා ගෘහස්ථ වාසස්ථානයක සළකුණු පෙන්නුම් කරයි. ගිනි උඳුන්, ධාන්‍ය අටු, නිදන ස්ථාන ඊට සාක්ෂි දරයි. ඒ අතර භූමදාන කුටිද දක්නට ලැබේ. එම කුටි වලින් සොයා ගන්නා ලද විවිධ මළ සිරුරු විශාල ප්‍රමාණයක් වසර 2000කට වඩා පැරණිය. එම මළ සරුරු දැව යහන්වල තබා ඇති අතර තඹ ආභරණ සහ පබළුවලින් සරසා ඇත.
අනෙකුත් ගුහාවන් තුළින් බුදු දහම මස්ටෑන්ග්වලට පැමිණීමට පෙර එනම් 3වන සියවසේ සිට 8වන සියවස දක්වා අයත් ඇටකටු සොයා ගෙන ඇත. එම ඇටකටුවලට සළකුණු කපා ඇති අතර ඒවා ආකාෂ භූමදානයේ ශේෂයන් විය හැකිය. ආකාෂ භූමදානය යනු ශරීරයේ මාංශ කොටස් කෑලිවලට කපා ගිජු ලිහිණියන්ට කෑමට දැමීමයි. මෙය අද දක්වාද ඈත හිමාලයේ ඇතැම් ප්‍රදේශවල දක්නට ලැබේ.

පුරාවිද්‍යාඥයන් විශ්වාස කරනුයේ මස්ටෑන්ග්වල පිහිටි ගුහා කාල පරිච්ඡේද 3කට අයත් වන බවයි. එම ගුහා වසර 3000කට පෙර පළමුවෙන්ම භාවිත කර ඇත්තේ භූමදාන කුටීර වශයෙනි. ඉන්පසු එනම් වසර දහසකට පෙර එම ගුහා ප්‍රාථමික ජීවිත ගත කිරීමට යොදා ගත් අතර එම පුද්ගලයින් යුධ අවස්ථාවන්හි පළා ගිය පිරිස් හෝ එම ප්‍රදේශවලට බලෙන් ඇතුළු වූ පිරිස් විය හැකිය. අවසාන වශයෙන් එනම් 1400 පමණ වන විට බොහෝ පුද්ගලයින් ප්‍රමාණයක් සාම්ප්‍රදායික ගම්මානයක් වෙත සංක්‍රමණය වූ අතර එම ගුහා භාවනා කිරීම සඳහා යොදා ගෙන ඇත. මෙම ගුහාවන්ගෙන් කිහිපයක් ඛමරස ඨදපච් වැනි ආශ්‍රමයන් බවට පත්ව ඇත. ක්‍යමබටිස ආශ්‍රමය සහ භහසචයමන ආශ්‍රමය මෙම ගුහා ඇතුළත මෙන්ම පිටතද පැවතී ඇත.
මස්ටෑන්ග්වල ප්‍රසිද්ධම ආශ්‍රමය වනුයේ ඛමරස ඨදපච් ය. මෙම ආශ්‍රමය භූමියේ සිට මීටර් 100ක් පමණ උසින් ගැටියක පිහිටා ඇත. මෙය ස්වභාවිකව සාදන ලද වැලි ගල් ආකෘතියේ කුළුණක් ආකාරයෙන් දිස් වෙයි.



සර්පාකාර අඩිපාර සානුවේ පතුලේ සිට කාමර දෙකකින් සමන්විත සෑම ප්‍රවේශයකටම ගමන් කරයි. පිටතින් පිහිටා ඇති කුටීර පූජාසනයකින් සමන්විත වන අතර ඇතුළත කුටීර ඉන්දියාවේ විශේෂ බලයක් ඇති ඍෂිවරුන්ගේ සිතුවම්වලින් සරසා ඇත. මෙම අත්භූත ආශ්‍රමයන් පිළිබඳ සඳහන් වන කිසිඳු ලේඛණයක් නොමැත. නමුත් මෙහි සිතුවම් 14වන සියවසේ හෝ ඊට පෙර අඳින ලද ඒවා බව පෙනෙන්ට ඇත.                                                                                                                                                                                                                                                                                                                          

නවීකරණයේ පෙරළිය

රටක දියුණුවත් පරිහානියත් රඳා පවතින්නේ ඒ රටේ ජනතාව මතයි. එදා අතීතයට වඩා අද වර්තමානය වන විට මිනිසාට ඇත්තේ දියුණු මනසකි. මිනිසා උපතින්ම උසස් බුද්ධියකින් යුතු වන්නේය. දේශපාලන විද්‍යාවේ පියා වන ඇරිස්ටෝටල් පවසා ඇත්තේද “මිනිසා වනාහි උපතින්ම දේශපාලන සත්ත්වයෙකු” වන බවයි. මෙකී සත්ත්වයා වර්තමාන තරඟකාරී තත්ත්වයට මුහුණ දෙන්නේ රටම ආන්දෝලනාත්මක තත්ත්වයකට පත් කරමිනි. මේ නිසා නවීකරණයට ලක් වී ඇති වර්තමාන මිනිස් සමූහය සත්ත්වයින් තරම්වත් යුතුකම් නොදන්නා පිරිසක් බවට පත්ව ඇත.
ලෝකයේ රටවල් අතර ශ්‍රී ලංකාව යනු තුන්වෙනි ලෝකයේ රටකි. එවන් ත්ත්වයක පවතින ලංකාව තවමත් දියුණු වෙමින් පවතින රටවල් අතර ප්‍රමුඛස්ථානයේ සිටියි. මෙරට මිනිසුන් අතර එකමුතුකම, සුහදශීලීත්වය, පරෝපකාරය වැනි උතුම් ගුණාංග මිනිස්කම තුළින් ගිලිහී  ගොස් වෛරය, ක්‍රෝධය, ආත්මාර්ථකාමීත්වය ආදී දුර්ගණ මතුව ඇත. මේ හේතුවෙන් ලංකාව කෙදිනක සංවර්ධිත රටක් ලෙස හඳුනා ගැනීමට හැකි වේදැයි සිතිය නොහැකිය.

ගෝලීයකරණයට හසු වූ මිනිසා ආර්ථිකමය, සමාජයීමය වශයෙන් බොහෝ ඉදිරියට ඇදී ගියේය. මිනිසා විසින්ම නිපදවන ලද යන්ත්‍රෝපකරණ, ඉහළ නිෂ්පාදන හා අළෙවියක් දැක ගත හැකි වීම තුළ ලංකාවේ විවිධ වෙනස්කම් සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසා නවීකරණයට බඳු වීම ප්‍රබල කාරණයක් විය. රටෙහි සංස්කෘතිය පහළ වැටීමත් ඒ තුළින් මිනිසාගේ මිනිස්කම ගිලිහී යාමත් නවීකරණයේ ප්‍රතිඵලයක් විය. විශේෂයෙන්ම භාෂාව, ඇඳුම් පැළඳුම්, ආහාර, විවිධ විලාසිතා ඔස්සේ මිනිසා නවීකරණයට ලක් විය.

නවීකරණය තුළ ආචාර ධර්මයන්ට ප්‍රමුඛතාවය නොදුන් මිනිසා සංස්කෘතිමය වටනාකමින් ඔබ්බට ගොස් භාෂාව හසුරවන්නට හැඩගැසුණු විලාසය ඛේදජනක විය. සිංහල භාෂාවට මිශ්‍ර වූ ඉංග්‍රීසි භාෂාව භාවිතයට අපි හුරු වූයේ නවීකරණ ලෝකය තුළ ය. එය සාමාන්‍ය ව්‍යවහාරය තුළ සිංගිරීසි භාෂාව ලෙස නම් කෙරිණි. එදා පැවැති “ආයුබෝවන්” යන්නෙන් කෙනෙක්ව පිළිගැනීම තුළ දක්නට ලැබුණේ සුහදශීලීත්වයයි. නමුත් අද වන විට පිළිගනු ලබන්නේ “හායි” වශයෙන් පවසාය. මේ තුළ කිසිම සමීප බවක් නොදැනේ. හමුවීම හායි වශයෙන්ද වෙන්වීම බායි වශයෙන්ද හසුරුවන්නට පුරුදු වූ මේ සමාජය තුළ සිංහල ගීතයද එලෙසින්ම රචිත විය. “හායි ඔයාලා යනවද බායි කියාලා” ගීතයේ පද රචනා වීම ඊට එක් උපහැරණයකි. මෙය කෙතරම් දුරට නවීකරණයත් සමඟ ඇති වූ භාෂාවේ ආන්දෝලනාත්මක තත්ත්වයක් වේද?

අතීතයේ දණහිසෙන් පහළට හැඳ ගත් ඇඳුම් අද වන විට දණහිසෙන් ඉහළට ඇඳීමට පුරුදුව ඇත. කෙනෙකුගේ චර්යාව එසේත් නැතිනම් හැදියාව පිළිබිඹු කරලන සංකේතයක් ලෙස ඇඳුම හැඳින්විය හැකිය. නවීකරණයත් සමඟ හැඩගැසෙන තරුණ පරම්පරාව අතර විශේෂයෙන්ම කාන්තා පාර්ශවය මෙම ඇඳුම්වි ලාසිතා අතර ප්‍රමුඛස්ථානයේ සිටියි. ළමා, තරුණ, වැඩිහිටි, මහළු යන වයස් කාණ්ඩයන්ට ඔබින ඇඳුම් වෙන් වෙන්ව තිබුණද වර්තමානයේ වයස් භේදයකින් තොරව විවිධාකාර ඇඳුම් ඇඳ ගනිමින් කැපී පෙනෙන්නට උත්සාහ කරයි. ඒ අතර වැඩිහිටි කාන්තාවන් තරුණ ගැහැණු ළමයින්ට වෙන්ව ඇති ඇඳුම් ඇඳීමට එක්තරා ආකාරයකට විලාසිතාවක් කරගෙන ඇත.

බොහෝ සෙයින් කාන්තාවෝ විලාසිතා කරන්නට ආශා දක්වති. ඒ තුළින් තමන්ගේ රූප සම්පත්තිය අලංකරණය කර ගැනීමට බොහෝ කාලය වැය කරන කාන්තාවෝ වෙති. විශේෂයෙන්ම මෙවැනි නවීකරණයකට ලක් වන කාන්තාව අනුකරණයට ලක් කර ගන්නේ පිටරට ද්‍රව්‍යයන් හෝ පිටරට වෙසෙන නළු නිළියන්ගේ හැසිරීම් රටාව වේ. පිටරට භාෂාවට පමණක් නොව විලාසිතාවන්ටද ලාංකීය ප්‍රජාව ඇබ්බැහි වූවා යැයි පැවසිය හැක. එසේ සිදු වූයේ බොහෝ කල් නොගොස්ය. මෙවන් තත්ත්වයක් අප රට තුළ පවතිද්දී අපේ රටේ උගතුන් රටේ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට පියවර ගෙන තිබෙනවා යන්න පැවසීම හාස්‍යයට කරුණකි.

මේ අන්දමින් අපේ සංස්කෘතිය තුළ මිනිසාගේ මිනිස්කම ගිලිහී යන්නට තවත් අන්දමකින් ආහාර රටාවේ වෙනසද බලපා ඇත. වර්තමානයේ පහසුව විනා ලාභ ප්‍රයෝජන පිළිබඳ නොසිතා විවිධ ආහාර රටාවන්ට පුරුදු වී ඇත. එදා අතීතයේ මෙන් ගමේ පොළට ගොස් එළවළු, පළතුරු වර්ග මෙන්ම නිවසට අවශ්‍ය සියළු බඩු රැගෙන ආ යුගයක් යළිත් උදා නොවනු ඇත. අද නවීකරණ ලෝකයේ ආහාර මෙන්ම අනෙකුත් දෑ අධික මුදල් වියදම් කොට ලබා ගැනීමට පෙළඹෙයි. ඒ අනුව ෆුඞ් සිටි, කාර්ගිල්ස්, ආපිකෝ, මැක්ඩොනල්, පීසා හට් ආදිය වෙත ඇදී යන්නේ බහුල වශයෙනි.

අතීතයේ අපේ අත්තම්මා, සීයා සතියේ පොළට ගිය විට වෙළෙන්දන් ඔවුන්ට දැක් වූ ගරුත්වය අද වන විට දක්නට නොමැත. පාරිභෝගිකයාගේ වටිනාකම හඳුනා නොගත් ව්‍යාපාරික ප්‍රජාවක් අද බිහිව ඇති හෙයින් අපේකම මිනිසා තුළින් පහව ගොස් ආඩම්බර බව, උඩඟු බව ඉස්මතු වී ඇත.
රටකට නවීකරණය වැදගත් වන්නා සේම මිනිස්කම ද වැදගත් වනු ඇත. එනිසා තමාගේ දියුණුව වෙනුවෙන් මිනිස්කම විකුණනවා නොව කළ යුත්තේ මිනිස්කමත් සමඟින් නවීකරණයට මුහුණදීමයි. ඒ තුළින් තමාටත් රටටත් යහපතක් වනු ඇත.


















Saturday, May 20, 2017

පුල්ලෙයාර් දෙවියන් යනු ගණ දෙවියන්ම ද?

ක්‍රි.ව. 2 වන සියවසේ පමණ ගණපති දෙවියන් පිළිබඳ විශ්වාසය ලංකාවේ පැවති බවට සාධක හමු වේ. එයට ප්‍රධාන වශයෙන් ම අදාළ පුරා විද්‍යාත්මක සාධක ලැබෙන්නේ අනුරාධපුර මිහින්තලයෙනි. එහි ඇති කණ්ඨක චේතිය අධෝභාගයේ මූර්තිමත් කර ඇති කැටයම් රූ අතර ඇති එක් දළයකින් යුත් රූපය ගණේශ හෙවත් ගණ දෙවිඳුගේ යැයි විශ්වාස කෙරේ. බ්‍රාහ්මණ හින්දූන්ට අනුව ගණේශ දෙවියන් බාධක ඉවත් කරන බුද්ධිය මුවහත් කරන කරුණාවන්ත දෙවියා ය. නුවර යුගයේ සිට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා සම්බන්ධ දෙවියන් ලෙසත් ඥාණයට අධිපති දෙවියන් ලෙසත් හඳුන්වයි. එයද හින්දු බලපෑම නිසා ඇති වූ විශ්වාසයකි.


ගණපති යන පදයේ “ගණ”යනු පිරිසකට නායකයා යනු යි. එනම් ගණ යනු ශිවගේ සේනාව යි.“පති”යන්න අධිපති යන අර්ථය දක්වයි. ලම්බෝදර, බාලචන්ද්‍ර, විනායක, විඝ්න රාජා, ගණපති, ගජානන වශයෙන් ගණේශ දෙවියන් හඳුන්වන අතර පුල්ලෙයාර් යනුවෙන්ද හඳුන්වයි. ඇතැමෙකු මොහුට නම් දහසක් ඇති බව කියති. පුල්ලෙයාර්, කඩවර, කතරගම යන තිදෙනගේම උත්පත්තිය එකම සිද්ධියක් වටා ගෙතී ඇත.

පුල්ලෙයාර් දෙවියන් හා ගණ දෙවියන් යනු එකම දෙවි කෙනෙකු ලෙස පිළිගත්තද වන්දනා කිරීමේදී ඒ ඒ ජන කොටස්ගෙන් වෙනස් වේ. හේනේ කුඹුරේ ආරක්ෂාවත් ගව මහේෂාදීන්ගේ ආරක්ෂාවත් සඳහා පොල් ගෙඩියක් වෙන්කොට පුල්ලෙයාර් දෙවියන්ට භාර වී එය ඔප්පු කිරීම සඳහා කිරි උතුරුවා දෙවියන් පිදීම පුල්ලෙයාර් වන්දනය නම් වේ. ගණ දෙවියන්ට පුල්ලෙයාර් දෙවියන් නමින් අනුරාධපුර, පොළොන්නරුව, යාපනය ආදි ප්‍රදේශවල ජනතාව වන්දනා කරයි. ඒ අතර බොහොමයක් ද්‍රවිඩ ජනතාව වේ. ඒ ප්‍රදේශ හඳුන්වන්නේද පුල්ලෙයාර් දෙවියන්ගේ අඩවිය නමිනි.


නමුත් ගණ දෙවියන්ට වන්දනා කිරීම පුල්ලෙයාර් වන්දනයෙන් වෙනස් වේ. විවිධ ප්‍රදේශවලින් කතරගම දේවාලයට යන ජනතාව ගණ දෙවියන්ට පූජා පවත්වති.මෙහිදී ඔවුන් විවිධ ශ්ලෝක තම වන්දනය උදෙසා යොදා ගනී.


       හර්යොම් ත්‍රි පුර සංඛරා විග්නෂ රූපාය 
        ඩං ඩං සරණං සරණං නෙයියම් නම්බි නෙම්වාවා 
        ගණපති ඕං කිලියුං ගණපති මහා ගණපති 
        පණ්ණෙයි විලුං මණදිලි යුං න්ක්යස් ස්වාහං 

         ගණපති පරිවාරං චාරු කෙයුර හාරං 
         ගිරිධරවර සාරං  යෝගනීච ක්‍රිචාරං 
         භව භය පරිහාරං දුක්ඛ දාරිදු ධූප ධූරං 
         ගණපත් මහි වන්දේ චක්‍ර තුණ්ඩාව නාරං 
               
        ශුක්ලාම් භර ධරං විෂ්ණු ෂශි වර්ණං චතුර් භුප්ං 
        ප්‍රසන්න වදනම් ධ්‍යායෙන් සර්ව විෂ්ණූප ශාන්තයේ 
        අග ජානන පාත්මාක්රං ගෂාණන මහාර්භීෂම් 
        අනේක දන්තං භක්තානං ඒක වන්නං මුපාස්මහේ  
                               
තවද දරුවෙකුට ප්‍රථමයෙන් අකුරු කියවන අවස්ථාවේ ගණ දෙවියන් උදෙසා විවිධ පළතුරු පූජා කරන අතර ඒ සඳහාද ගායනා යොදා ගනු ලැබේ.

                   අඹ දඹ ඇටඹද කරඹද         පුදමි
                   ඔළු පළු ලාළුද දිවුළුද           පුදමි
                   අතිරස අග්ගල අත්සුණු        පුදමි
                   ගණදෙවි නුවණක් දෙනුවා   වඳිමි

ගණදෙවි පූජාව සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයකි. බුලත් 21ක්, රත්මල් වට්ටියක්, පොල් ගෙඩි 1ක්, පළතුරු වර්ග 7ක්, පොතු පිටින් කළු උක්ගසක්, අග්ගල ගෙඩි 21ක් හෝ 11ක් (ගණදෙවි පූජාව සඳහා අනිවාර්යෙන්ම අග්ගල තැබිය යුතු ය), පොල්තෙල් පහනක් (පැය 6ක් හෝ 7ක් දැල්විය යුතුය) ආදිය පූජා කොට අප විසින් ගණ දෙවි වන්දනය සිදු කරයි. මේ අනුව ගණදෙවි පූජාව පුල්ලෙයාර් පූජාවෙන් වෙනස් වන ආකාරය පැහැදිලි වේ. මෙසේ වන්දනා කිරීම වෙනස් වුවද පුල්ලෙයාර් දෙවියන් යනු ගණ දෙවියන්ම යැයි වැටහෙනු ඇත.