Monday, May 22, 2017

නේපාලයේ මස්ටෑන්වල ගුප්ත ගුහා

ටිබෙට් සානුවට මායිම්ව පිහිටා ඇති මස්ටෑන්ග් රාජධානිය නේපාලයේ හිමාලය කඳු වැටියේ පිහිටි හුදෙකලා සහ අප්‍රසිද්ධ ප්‍රදේශයකි. බෞද්ධ රාජධානියක් වශයෙන් පැවැති මස්ටෑන්ග් 18වන සියවසේදී නේපාලය විසින් අත්පත් කර ගනිමින් නේපාලයට ඒකාබද්ධ කර ගත්තද 1950 වන තුරු වෙනම රාජ්‍යයක් වශයෙන් පැවතුණි. මාස්ටෑන්ග් රාජධානියේ පැවැති සංවේදී දේශසීමා නිසා 1992 වන තෙක් එය විදේශිකයන්ට සීමා රහිත ප්‍රදේශයක් බවට පත් වී තිබුණි. නේපාලයට වඩා ටිබෙටයට සමීපව තිබූ මස්ටෑන්ග්හි සාපේක්ෂ හුදෙකලා බව නිසාම එෛතිහාසික සංස්කෘතිය ආරක්ෂා විය.

මෙහි භූමි දර්ශනය කෙතරම් සුවිශේෂීද කිවතොත් නේපාලයේවත් එවැනි භූමියක් නොමැත. කාලි ගන්ධකී ගංඟාවෙන් කැටයම් කළ ගැඹුරු දුර්ගයන් සහ අත්භූත ආකාරයෙන් කැටයම් කරන ලද පර්වත මෙම භූ දර්ශනයට අයත්ය. ප්‍රාන්තයන්හි මුහුණුවරින් කියාපානුයේ වසර 10000කට වඩා පැරණි ගුහාවන් එහි තිබෙන බවයි. ඉන් සමහරක් සානුවේ සිට අඩි 150කට වඩා උසකින් පිහිටා ඇත. එම ගුහාවන් නිර්මාණය කළේ කවුදැයි කිසිවෙකු නොදනී. එපමණක් නොව එම ගුහා පිහිටා ඇති පරිද්දෙන් ඒවා තිරස්ව නියමිත මිම්මට නිර්මාණය කර ඇත්තේ කවුදැයි නොදනී.
අත්දැකීම් සහිත කඳු නඟින්නන්ට පවා සමහර ගුහාවලට ළඟා වීමට නොහැක. අද වන විට බොහොමයක් ගුහා හිස්ව පැවතියත් අනෙකුත් ගුහා ගෘහස්ථ වාසස්ථානයක සළකුණු පෙන්නුම් කරයි. ගිනි උඳුන්, ධාන්‍ය අටු, නිදන ස්ථාන ඊට සාක්ෂි දරයි. ඒ අතර භූමදාන කුටිද දක්නට ලැබේ. එම කුටි වලින් සොයා ගන්නා ලද විවිධ මළ සිරුරු විශාල ප්‍රමාණයක් වසර 2000කට වඩා පැරණිය. එම මළ සරුරු දැව යහන්වල තබා ඇති අතර තඹ ආභරණ සහ පබළුවලින් සරසා ඇත.
අනෙකුත් ගුහාවන් තුළින් බුදු දහම මස්ටෑන්ග්වලට පැමිණීමට පෙර එනම් 3වන සියවසේ සිට 8වන සියවස දක්වා අයත් ඇටකටු සොයා ගෙන ඇත. එම ඇටකටුවලට සළකුණු කපා ඇති අතර ඒවා ආකාෂ භූමදානයේ ශේෂයන් විය හැකිය. ආකාෂ භූමදානය යනු ශරීරයේ මාංශ කොටස් කෑලිවලට කපා ගිජු ලිහිණියන්ට කෑමට දැමීමයි. මෙය අද දක්වාද ඈත හිමාලයේ ඇතැම් ප්‍රදේශවල දක්නට ලැබේ.

පුරාවිද්‍යාඥයන් විශ්වාස කරනුයේ මස්ටෑන්ග්වල පිහිටි ගුහා කාල පරිච්ඡේද 3කට අයත් වන බවයි. එම ගුහා වසර 3000කට පෙර පළමුවෙන්ම භාවිත කර ඇත්තේ භූමදාන කුටීර වශයෙනි. ඉන්පසු එනම් වසර දහසකට පෙර එම ගුහා ප්‍රාථමික ජීවිත ගත කිරීමට යොදා ගත් අතර එම පුද්ගලයින් යුධ අවස්ථාවන්හි පළා ගිය පිරිස් හෝ එම ප්‍රදේශවලට බලෙන් ඇතුළු වූ පිරිස් විය හැකිය. අවසාන වශයෙන් එනම් 1400 පමණ වන විට බොහෝ පුද්ගලයින් ප්‍රමාණයක් සාම්ප්‍රදායික ගම්මානයක් වෙත සංක්‍රමණය වූ අතර එම ගුහා භාවනා කිරීම සඳහා යොදා ගෙන ඇත. මෙම ගුහාවන්ගෙන් කිහිපයක් ඛමරස ඨදපච් වැනි ආශ්‍රමයන් බවට පත්ව ඇත. ක්‍යමබටිස ආශ්‍රමය සහ භහසචයමන ආශ්‍රමය මෙම ගුහා ඇතුළත මෙන්ම පිටතද පැවතී ඇත.
මස්ටෑන්ග්වල ප්‍රසිද්ධම ආශ්‍රමය වනුයේ ඛමරස ඨදපච් ය. මෙම ආශ්‍රමය භූමියේ සිට මීටර් 100ක් පමණ උසින් ගැටියක පිහිටා ඇත. මෙය ස්වභාවිකව සාදන ලද වැලි ගල් ආකෘතියේ කුළුණක් ආකාරයෙන් දිස් වෙයි.



සර්පාකාර අඩිපාර සානුවේ පතුලේ සිට කාමර දෙකකින් සමන්විත සෑම ප්‍රවේශයකටම ගමන් කරයි. පිටතින් පිහිටා ඇති කුටීර පූජාසනයකින් සමන්විත වන අතර ඇතුළත කුටීර ඉන්දියාවේ විශේෂ බලයක් ඇති ඍෂිවරුන්ගේ සිතුවම්වලින් සරසා ඇත. මෙම අත්භූත ආශ්‍රමයන් පිළිබඳ සඳහන් වන කිසිඳු ලේඛණයක් නොමැත. නමුත් මෙහි සිතුවම් 14වන සියවසේ හෝ ඊට පෙර අඳින ලද ඒවා බව පෙනෙන්ට ඇත.                                                                                                                                                                                                                                                                                                                          

නවීකරණයේ පෙරළිය

රටක දියුණුවත් පරිහානියත් රඳා පවතින්නේ ඒ රටේ ජනතාව මතයි. එදා අතීතයට වඩා අද වර්තමානය වන විට මිනිසාට ඇත්තේ දියුණු මනසකි. මිනිසා උපතින්ම උසස් බුද්ධියකින් යුතු වන්නේය. දේශපාලන විද්‍යාවේ පියා වන ඇරිස්ටෝටල් පවසා ඇත්තේද “මිනිසා වනාහි උපතින්ම දේශපාලන සත්ත්වයෙකු” වන බවයි. මෙකී සත්ත්වයා වර්තමාන තරඟකාරී තත්ත්වයට මුහුණ දෙන්නේ රටම ආන්දෝලනාත්මක තත්ත්වයකට පත් කරමිනි. මේ නිසා නවීකරණයට ලක් වී ඇති වර්තමාන මිනිස් සමූහය සත්ත්වයින් තරම්වත් යුතුකම් නොදන්නා පිරිසක් බවට පත්ව ඇත.
ලෝකයේ රටවල් අතර ශ්‍රී ලංකාව යනු තුන්වෙනි ලෝකයේ රටකි. එවන් ත්ත්වයක පවතින ලංකාව තවමත් දියුණු වෙමින් පවතින රටවල් අතර ප්‍රමුඛස්ථානයේ සිටියි. මෙරට මිනිසුන් අතර එකමුතුකම, සුහදශීලීත්වය, පරෝපකාරය වැනි උතුම් ගුණාංග මිනිස්කම තුළින් ගිලිහී  ගොස් වෛරය, ක්‍රෝධය, ආත්මාර්ථකාමීත්වය ආදී දුර්ගණ මතුව ඇත. මේ හේතුවෙන් ලංකාව කෙදිනක සංවර්ධිත රටක් ලෙස හඳුනා ගැනීමට හැකි වේදැයි සිතිය නොහැකිය.

ගෝලීයකරණයට හසු වූ මිනිසා ආර්ථිකමය, සමාජයීමය වශයෙන් බොහෝ ඉදිරියට ඇදී ගියේය. මිනිසා විසින්ම නිපදවන ලද යන්ත්‍රෝපකරණ, ඉහළ නිෂ්පාදන හා අළෙවියක් දැක ගත හැකි වීම තුළ ලංකාවේ විවිධ වෙනස්කම් සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසා නවීකරණයට බඳු වීම ප්‍රබල කාරණයක් විය. රටෙහි සංස්කෘතිය පහළ වැටීමත් ඒ තුළින් මිනිසාගේ මිනිස්කම ගිලිහී යාමත් නවීකරණයේ ප්‍රතිඵලයක් විය. විශේෂයෙන්ම භාෂාව, ඇඳුම් පැළඳුම්, ආහාර, විවිධ විලාසිතා ඔස්සේ මිනිසා නවීකරණයට ලක් විය.

නවීකරණය තුළ ආචාර ධර්මයන්ට ප්‍රමුඛතාවය නොදුන් මිනිසා සංස්කෘතිමය වටනාකමින් ඔබ්බට ගොස් භාෂාව හසුරවන්නට හැඩගැසුණු විලාසය ඛේදජනක විය. සිංහල භාෂාවට මිශ්‍ර වූ ඉංග්‍රීසි භාෂාව භාවිතයට අපි හුරු වූයේ නවීකරණ ලෝකය තුළ ය. එය සාමාන්‍ය ව්‍යවහාරය තුළ සිංගිරීසි භාෂාව ලෙස නම් කෙරිණි. එදා පැවැති “ආයුබෝවන්” යන්නෙන් කෙනෙක්ව පිළිගැනීම තුළ දක්නට ලැබුණේ සුහදශීලීත්වයයි. නමුත් අද වන විට පිළිගනු ලබන්නේ “හායි” වශයෙන් පවසාය. මේ තුළ කිසිම සමීප බවක් නොදැනේ. හමුවීම හායි වශයෙන්ද වෙන්වීම බායි වශයෙන්ද හසුරුවන්නට පුරුදු වූ මේ සමාජය තුළ සිංහල ගීතයද එලෙසින්ම රචිත විය. “හායි ඔයාලා යනවද බායි කියාලා” ගීතයේ පද රචනා වීම ඊට එක් උපහැරණයකි. මෙය කෙතරම් දුරට නවීකරණයත් සමඟ ඇති වූ භාෂාවේ ආන්දෝලනාත්මක තත්ත්වයක් වේද?

අතීතයේ දණහිසෙන් පහළට හැඳ ගත් ඇඳුම් අද වන විට දණහිසෙන් ඉහළට ඇඳීමට පුරුදුව ඇත. කෙනෙකුගේ චර්යාව එසේත් නැතිනම් හැදියාව පිළිබිඹු කරලන සංකේතයක් ලෙස ඇඳුම හැඳින්විය හැකිය. නවීකරණයත් සමඟ හැඩගැසෙන තරුණ පරම්පරාව අතර විශේෂයෙන්ම කාන්තා පාර්ශවය මෙම ඇඳුම්වි ලාසිතා අතර ප්‍රමුඛස්ථානයේ සිටියි. ළමා, තරුණ, වැඩිහිටි, මහළු යන වයස් කාණ්ඩයන්ට ඔබින ඇඳුම් වෙන් වෙන්ව තිබුණද වර්තමානයේ වයස් භේදයකින් තොරව විවිධාකාර ඇඳුම් ඇඳ ගනිමින් කැපී පෙනෙන්නට උත්සාහ කරයි. ඒ අතර වැඩිහිටි කාන්තාවන් තරුණ ගැහැණු ළමයින්ට වෙන්ව ඇති ඇඳුම් ඇඳීමට එක්තරා ආකාරයකට විලාසිතාවක් කරගෙන ඇත.

බොහෝ සෙයින් කාන්තාවෝ විලාසිතා කරන්නට ආශා දක්වති. ඒ තුළින් තමන්ගේ රූප සම්පත්තිය අලංකරණය කර ගැනීමට බොහෝ කාලය වැය කරන කාන්තාවෝ වෙති. විශේෂයෙන්ම මෙවැනි නවීකරණයකට ලක් වන කාන්තාව අනුකරණයට ලක් කර ගන්නේ පිටරට ද්‍රව්‍යයන් හෝ පිටරට වෙසෙන නළු නිළියන්ගේ හැසිරීම් රටාව වේ. පිටරට භාෂාවට පමණක් නොව විලාසිතාවන්ටද ලාංකීය ප්‍රජාව ඇබ්බැහි වූවා යැයි පැවසිය හැක. එසේ සිදු වූයේ බොහෝ කල් නොගොස්ය. මෙවන් තත්ත්වයක් අප රට තුළ පවතිද්දී අපේ රටේ උගතුන් රටේ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට පියවර ගෙන තිබෙනවා යන්න පැවසීම හාස්‍යයට කරුණකි.

මේ අන්දමින් අපේ සංස්කෘතිය තුළ මිනිසාගේ මිනිස්කම ගිලිහී යන්නට තවත් අන්දමකින් ආහාර රටාවේ වෙනසද බලපා ඇත. වර්තමානයේ පහසුව විනා ලාභ ප්‍රයෝජන පිළිබඳ නොසිතා විවිධ ආහාර රටාවන්ට පුරුදු වී ඇත. එදා අතීතයේ මෙන් ගමේ පොළට ගොස් එළවළු, පළතුරු වර්ග මෙන්ම නිවසට අවශ්‍ය සියළු බඩු රැගෙන ආ යුගයක් යළිත් උදා නොවනු ඇත. අද නවීකරණ ලෝකයේ ආහාර මෙන්ම අනෙකුත් දෑ අධික මුදල් වියදම් කොට ලබා ගැනීමට පෙළඹෙයි. ඒ අනුව ෆුඞ් සිටි, කාර්ගිල්ස්, ආපිකෝ, මැක්ඩොනල්, පීසා හට් ආදිය වෙත ඇදී යන්නේ බහුල වශයෙනි.

අතීතයේ අපේ අත්තම්මා, සීයා සතියේ පොළට ගිය විට වෙළෙන්දන් ඔවුන්ට දැක් වූ ගරුත්වය අද වන විට දක්නට නොමැත. පාරිභෝගිකයාගේ වටිනාකම හඳුනා නොගත් ව්‍යාපාරික ප්‍රජාවක් අද බිහිව ඇති හෙයින් අපේකම මිනිසා තුළින් පහව ගොස් ආඩම්බර බව, උඩඟු බව ඉස්මතු වී ඇත.
රටකට නවීකරණය වැදගත් වන්නා සේම මිනිස්කම ද වැදගත් වනු ඇත. එනිසා තමාගේ දියුණුව වෙනුවෙන් මිනිස්කම විකුණනවා නොව කළ යුත්තේ මිනිස්කමත් සමඟින් නවීකරණයට මුහුණදීමයි. ඒ තුළින් තමාටත් රටටත් යහපතක් වනු ඇත.


















Saturday, May 20, 2017

පුල්ලෙයාර් දෙවියන් යනු ගණ දෙවියන්ම ද?

ක්‍රි.ව. 2 වන සියවසේ පමණ ගණපති දෙවියන් පිළිබඳ විශ්වාසය ලංකාවේ පැවති බවට සාධක හමු වේ. එයට ප්‍රධාන වශයෙන් ම අදාළ පුරා විද්‍යාත්මක සාධක ලැබෙන්නේ අනුරාධපුර මිහින්තලයෙනි. එහි ඇති කණ්ඨක චේතිය අධෝභාගයේ මූර්තිමත් කර ඇති කැටයම් රූ අතර ඇති එක් දළයකින් යුත් රූපය ගණේශ හෙවත් ගණ දෙවිඳුගේ යැයි විශ්වාස කෙරේ. බ්‍රාහ්මණ හින්දූන්ට අනුව ගණේශ දෙවියන් බාධක ඉවත් කරන බුද්ධිය මුවහත් කරන කරුණාවන්ත දෙවියා ය. නුවර යුගයේ සිට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා සම්බන්ධ දෙවියන් ලෙසත් ඥාණයට අධිපති දෙවියන් ලෙසත් හඳුන්වයි. එයද හින්දු බලපෑම නිසා ඇති වූ විශ්වාසයකි.


ගණපති යන පදයේ “ගණ”යනු පිරිසකට නායකයා යනු යි. එනම් ගණ යනු ශිවගේ සේනාව යි.“පති”යන්න අධිපති යන අර්ථය දක්වයි. ලම්බෝදර, බාලචන්ද්‍ර, විනායක, විඝ්න රාජා, ගණපති, ගජානන වශයෙන් ගණේශ දෙවියන් හඳුන්වන අතර පුල්ලෙයාර් යනුවෙන්ද හඳුන්වයි. ඇතැමෙකු මොහුට නම් දහසක් ඇති බව කියති. පුල්ලෙයාර්, කඩවර, කතරගම යන තිදෙනගේම උත්පත්තිය එකම සිද්ධියක් වටා ගෙතී ඇත.

පුල්ලෙයාර් දෙවියන් හා ගණ දෙවියන් යනු එකම දෙවි කෙනෙකු ලෙස පිළිගත්තද වන්දනා කිරීමේදී ඒ ඒ ජන කොටස්ගෙන් වෙනස් වේ. හේනේ කුඹුරේ ආරක්ෂාවත් ගව මහේෂාදීන්ගේ ආරක්ෂාවත් සඳහා පොල් ගෙඩියක් වෙන්කොට පුල්ලෙයාර් දෙවියන්ට භාර වී එය ඔප්පු කිරීම සඳහා කිරි උතුරුවා දෙවියන් පිදීම පුල්ලෙයාර් වන්දනය නම් වේ. ගණ දෙවියන්ට පුල්ලෙයාර් දෙවියන් නමින් අනුරාධපුර, පොළොන්නරුව, යාපනය ආදි ප්‍රදේශවල ජනතාව වන්දනා කරයි. ඒ අතර බොහොමයක් ද්‍රවිඩ ජනතාව වේ. ඒ ප්‍රදේශ හඳුන්වන්නේද පුල්ලෙයාර් දෙවියන්ගේ අඩවිය නමිනි.


නමුත් ගණ දෙවියන්ට වන්දනා කිරීම පුල්ලෙයාර් වන්දනයෙන් වෙනස් වේ. විවිධ ප්‍රදේශවලින් කතරගම දේවාලයට යන ජනතාව ගණ දෙවියන්ට පූජා පවත්වති.මෙහිදී ඔවුන් විවිධ ශ්ලෝක තම වන්දනය උදෙසා යොදා ගනී.


       හර්යොම් ත්‍රි පුර සංඛරා විග්නෂ රූපාය 
        ඩං ඩං සරණං සරණං නෙයියම් නම්බි නෙම්වාවා 
        ගණපති ඕං කිලියුං ගණපති මහා ගණපති 
        පණ්ණෙයි විලුං මණදිලි යුං න්ක්යස් ස්වාහං 

         ගණපති පරිවාරං චාරු කෙයුර හාරං 
         ගිරිධරවර සාරං  යෝගනීච ක්‍රිචාරං 
         භව භය පරිහාරං දුක්ඛ දාරිදු ධූප ධූරං 
         ගණපත් මහි වන්දේ චක්‍ර තුණ්ඩාව නාරං 
               
        ශුක්ලාම් භර ධරං විෂ්ණු ෂශි වර්ණං චතුර් භුප්ං 
        ප්‍රසන්න වදනම් ධ්‍යායෙන් සර්ව විෂ්ණූප ශාන්තයේ 
        අග ජානන පාත්මාක්රං ගෂාණන මහාර්භීෂම් 
        අනේක දන්තං භක්තානං ඒක වන්නං මුපාස්මහේ  
                               
තවද දරුවෙකුට ප්‍රථමයෙන් අකුරු කියවන අවස්ථාවේ ගණ දෙවියන් උදෙසා විවිධ පළතුරු පූජා කරන අතර ඒ සඳහාද ගායනා යොදා ගනු ලැබේ.

                   අඹ දඹ ඇටඹද කරඹද         පුදමි
                   ඔළු පළු ලාළුද දිවුළුද           පුදමි
                   අතිරස අග්ගල අත්සුණු        පුදමි
                   ගණදෙවි නුවණක් දෙනුවා   වඳිමි

ගණදෙවි පූජාව සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයකි. බුලත් 21ක්, රත්මල් වට්ටියක්, පොල් ගෙඩි 1ක්, පළතුරු වර්ග 7ක්, පොතු පිටින් කළු උක්ගසක්, අග්ගල ගෙඩි 21ක් හෝ 11ක් (ගණදෙවි පූජාව සඳහා අනිවාර්යෙන්ම අග්ගල තැබිය යුතු ය), පොල්තෙල් පහනක් (පැය 6ක් හෝ 7ක් දැල්විය යුතුය) ආදිය පූජා කොට අප විසින් ගණ දෙවි වන්දනය සිදු කරයි. මේ අනුව ගණදෙවි පූජාව පුල්ලෙයාර් පූජාවෙන් වෙනස් වන ආකාරය පැහැදිලි වේ. මෙසේ වන්දනා කිරීම වෙනස් වුවද පුල්ලෙයාර් දෙවියන් යනු ගණ දෙවියන්ම යැයි වැටහෙනු ඇත.