Friday, August 11, 2017

ජනමාධ්‍ය හරහා කැළඹෙන ළමා මනස

ජන මාධ්‍යයෙන් ළමුන් කෙරෙහි සිදු කරන අහිතකර බලපෑම් ගැන ලොව පුරා නිදසුන් අපමණයි. පහත දැක්වෙන සිද්ධිය ඇමරිකාවේ සිදු වූවක්. ඔබත් ඒ පිළිබඳ අවධානය යොමු කරන්න.
“දිනක් ඇමරිකානු කාන්තාවකට දුරකථන ඇමතුමක් ලැබිණි. එය ඇසූ ඇය මොහොතකට ගල් ගැසී සිටියාය. නිවසේ ඒ වන විට සිටියේ ඇගේ දරුවා පමණි. ඇය ඔහු වෙත පැමිණ මෙසේ  කීවාය. 

“පුතේ... ඔයාගේ සීයා මැරිලා...”
(දරුවා එක්වරම මෙසේ ඇසුවාය.)
“කවුද අම්මේ එයාට වෙඩි තියල තියෙන්නේ ?”

සිව්වෙනි ලෝක කාන්තා සම්මේලනයේදී අනාවරණය වූ එක් කරුණක් දෙසට මෙහිදී අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. එනම් ස්ත්‍රී පුරුෂ භේදය ශක්තිමත් කිරීම පිණිස රූපවාහිනී වැඩසටහන් උපයෝගී වන බවයි. මෙහිදී පිරිමි ළමයි රුපවාහිනියේ දැක්වෙන පුරුෂ චරිත ශක්තිමත්, කළහකාරී ඒවා ලෙස දකිනවා. එසේම ගැහැණු චරිත පිරිමින්ගේ ගොදුරු ලෙසද හඳුනා ගන්නට පෙළඹෙනවා. 

මේ අනුව පැහැදිලි වෙනවා ප්‍රචණ්ඩත්වය උත්කර්ෂයෙන් යුතුව ඉදිරිපත් කරන්නට රූපවාහිනිය කටයුතු කරන බව. මෙහිදී ඇතැම් කාටුන් වැඩසටහන් ගැනද මතක් කර යුතුමයි. බොහෝ කාටුන් ප්‍රචණ්ඩත්වයෙන් පිරී තියෙනවා. ඉතා බිහිසුණු ලෙස මරණයට පත් වීමෙන් පසු නැවත ජීවිතය ලබන චරිත ඒවයේ දක්නට ලැබෙනවා.  එසේම ප්‍රවෘත්ති වැඩසටහන් හෝ වාර්තා ද සංවේදජනක ලෙස නිර්මාණය කිරීමෙන් වැරදි ලෙස අරුත් ගැන්වෙනවා. 

ළමුන් ලේ වැගිරීමේ දර්ශන නැරඹීමෙන් සංත්‍රාසයට පත්වෙන බව ඔබ දන්නවා. එසේම කලහකාරීත්වය මඟින් ගැටළු විසඳා ගත හැකිය යන සංඥාවද ඔහුගේ මනස තුළ ලැඟුම් ගන්නවා. එවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවලට විපාක නොලැබෙන බවද වැඩසටහන් මඟින් නිරූපණය කෙරෙනවා. ලොව පුරාම ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින කේබල් සහ චන්ද්‍රිකා රූපවාහිනී මඟින් නව ගැටළු උද්ගත වන බව පර්යේෂකයෝ පවසනවා. මෙහි ඇති ඛේදනීය කාරණය වන්නේ සංවර්ධනය වෙමින් පවතින අප වැනි රටවලට තමන්ගේ ම වැඩසටහන් නිපදවා ගන්නට සම්පත් හිඟ වීමයි. ඒ නිසා විවිධ වයස් මට්ටම්වල නරඹන්නන් ප්‍රිය කරන පහසුවෙන් පරිවර්තනය කළ හැකි කාටුන් මෙරටට ගෙන්වනු ලැබෙනවා.

මම වගේම ඔබත් ඉතා ආශාවෙන් නැරඹූ කාටුන් චිත්‍රපටයක් තමයි "ICE AGE" කියන්නේ. එහි රාක්ෂයෙක්, බූරුවෙක් සහ රජ කුමරියක් ප්‍රධාන චරිත වෙනවා. එක් අවස්ථාවක ගල් ගුහාවක කල් ගත කරන ඔවුහු පසුදා උදෑසන අවදි වෙනවා. කුමරිය එක්තරා කුරුල්ලෙකු දකිනවා. කිසියම් හේතුවක් නිසා කුරුල්ලා පිපිරී මිය යනවා. ඇය වහාම කුරුලු බිත්තර රැගෙන ඒවායින් රසවත් ආහාර තනා රාක්ෂයාට දෙනවා. මෙය බටහිර රටක එතරම් දෙයක් නොවේ. එහෙත් එවැනි දෙයක් අපේ රටේ දරුවන්ට ලබා දීම සංස්කෘතික හා ආගමික වශයෙන් නොගැළපෙනවා. මේ තුළින් අපට පේනවා රූපවාහිනිය කොයිතරම් නම් ළමා මනස ආකර්ෂණය කර ගැනීමට තැත් දරනවාද යන වග.

එහෙත් මේ සියල්ල මැද්දේ රූපවාහිනිය ඇතුළු අනෙකුත් ජනමාධ්‍ය ළමයින් සම්බන්ධව සාධනීය ලෙසද බලපානවා. විශේෂයෙන්ම රූපවාහිනිය ළමා අධ්‍යාපනය හා සංවර්ධනය සඳහා භාවිත කළ හැකි වෙනවා. ඒ අතරම අද ළමා පරපුර එදාට වඩා දැනුම අතින් දියුණුයි. කලාව, විද්‍යාව තාක්ෂණය, ආගමික කරුණු, පරිසරය පිළිබඳ ආදරය ඇති කිරීමට ජනමාධ්‍ය මනා උත්ප්‍රේරකයක් වෙනවා. එසේම අද සමාජ ආරක්ෂාව ද දැනුම පරපුරෙන් පරපුරට ගෙනයාම ද සිදු කරන්නේ ජනමාධ්‍ය මඟින්. ඒ නිසා වඩාත් යහපත් ලෙස ළමා පරපුර වෙත ජනමාධ්‍ය මඟින් සංදේශ නිකුත් කළ යුතුයි. එය අර්ථවත් අනාගතයකට පෙරමඟ සෑදිමක් වෙනවා. 


   

No comments:

Post a Comment