සෝප් ඔපෙරා හෙවත් සබන් නාට්‍ය කියන්නේ තවත් එක් සුවිශේෂී නාට්‍ය විශේෂයක්. මේ නාට්‍ය වර්ගය අපි මුලින්ම හඳුනා ගන්නේ ගුවන් විදුලි මාධ්‍ය තුළින් වගේම රූපවාහිනි මාධ්‍ය තුළින්. නමුත් තව දුරටත් අධ්‍යයනය කිරීමෙන් අපිට තහවුරු කළ හැකි වැදගත් කරුණක් තමයි මේ සෝප් ඔපෙරා ඒ මාධ්‍යයන් දෙකේ පළ වීමට කළින් පුවත්පත්වල නව කතා කොටස් වශයෙන් හා සිනමා නිර්මාණ කොටස් වශයෙන් පළ වී තියෙන බව. මේ කරුණුවලින් සනාථ කෙරෙනවා සෝප් ඔපෙරාවක් කියන්නේ ඉතාමත් දිගු නාට්‍ය විශේෂයක් කියල.
රොබට් ඇලන් නම් මාධ්‍ය විචාරකයා පවසා තියෙනවා සෝප් ඔපෙරාව ආර්ථික විධානයන් සඳහා සෑම කලකදීම ආඛ්‍යානාත්මක පඨිතයක් වන බව. එනම් වෙළඳ පොළෙහි අවශ්‍යතා පදනම් කරගෙනයි මෙම සෝප් ඔපෙරා නිර්මාණය වී තියෙන්නේ. මෙම නාට්‍ය විශේෂය නිවසේ කාන්තාව ඉලක්ක කර ගැනීම විශේෂයක්. ඒ අනුව කාන්තාවගේ නිදහස් කාල පරිච්ඡේදය ඒ සඳහා වෙන් වී තියෙනවා. 30 දශකයේ මුල් භාගයේදී සිදු කෙරෙණු සමීක්ෂණයකට අනුව ගෘහණියන් ඉතා හොඳ ඉලක්ක ග්‍රාහක පිරිසක් හා වෙළඳ පොළක් බවට හඳුනා ගෙන තියෙනවා. එම සමීක්ෂණයේ ප්‍රථිඵල අනුව ගෙදර දොර භාවිත කරන උපකරණ අතරින් ගෘහණියන් රෙදි මදින ඉස්ත්‍රික්කයට අමතරව දෙවැනි ස්ථානය දී තිබුණේ ගුවන් විදුලියට බව හෙළි වී තියෙනවා. මුල් කාලයේදී කාන්තාවන් ගුවන් විදුලිය ඔස්සේ සෝප් ඔපෙරාවන්ට සවන් දීම නිසා එසේ පවසනවා. මේ අනුව සෝප් ඔපෙරාව මුළුමනින්ම ගෘහණියන් ඉලක්ක කර ගත් ගුවන් විදුලි වාණිජ නිෂ්පාදනයක් ලෙස හඳුනා ගෙන තියෙනවා.
සෝප් ඔපෙරාවේ ඇති වාණිජ ලක්ෂණ 03ක් ජේම්ස් එච්. විට්ටබෝල්ස් විසින් හඳුනා ගනිමින් ඉදිරිපත් කර තියෙනවා. . එනම්,
නිෂ්පාදනය කිරීමට වැය වන පිරිවැය අඩු වීම.
ග්‍රාහකයන් රඳවා තබා ගැනීමට ඇති ඉහළ හැකියාව.
මාධ්‍ය ආයතන සඳහා වෙනත් වැඩසටහන්වලට සාපේක්ෂව ලාභදායී වීම.
මෙම වාසි ලබා ගනිමින් අපට මුල් කාලීනව දක්නට ලැබුණු සෝප් ඔපෙරාවක් වූයේ “දූ දරුවෝ”. සෝප් ඔපෙරාවක ලක්ෂණ පිළිඹිබු කෙරෙන නාට්‍ය වර්තමානයේ අපට දක්නට ලැබෙන්නේ මෙගා ටෙලි නාට්‍ය වශයෙන්. නමුත් අපට පුළුවන් එම නාට්‍ය සෝප් ඔපෙරා වශයෙන් හඳුන්වන්න. මේ නාට්‍ය තුළ එක් සුවිශේෂී කාන්තාවක් කැපී පෙනේ. දූ දරුවෝ නාට්‍යයෙහි “දීප්ති” යන චරිතය ඒ නාට්‍යයෙහි විශේෂිත විය. ඒ සඳහා රංගනයෙන් දායකත්වයෙන් ලබා දී ඇත්තේ නිල්මිණි ෆොන්සේකා මහත්මිය. ඇය පවසා තියෙනවා එම නාට්‍ය තුළින් ඇය බොහෝ අතදැකීම් ලබා ඇති බව. ඇය එලෙස පවසා සිටින්නට ඇත්තේ එම නාට්‍ය බොහෝ කාලයක් විකාශනය වීම නිසා වෙන්නට පුළුවන්. ඕනෑම නළුවෙකුට සහ නිළියකට තම රංගන ජීවිතය තුළ අත්දැකීම් බහුල වීමට නාට්‍යයක නිෂ්පාදන කාල සීමාව අනිවාර්යයෙන්ම බලපානවා. සෝප් ඔපෙරාවක නිරූපිත නළු නිළියන් ලබන අත්දැකීම් සාමාන්‍ය ටෙලි නාට්‍යයක රඟපෑමෙන් ලබා ගත නොහැකි වීම ඊට හේතුවයි.
වර්තමාන රූපවාහිනී ටෙලි නාට්‍ය කලාවට අවධානය යොමු කළොත් අපට පුළුවන් දැක ගන්න එවැනි සෝප් ඔපෙරා. දෙරණ, හිරු හා සිරස රූපවාහිනී නාළිකා ඔස්සේ එවැනි නාට්‍ය බොහොමයක් අපට දැක ගත හැකි වෙනවා . එක් නාට්‍යයක් විනාඩි 30ක කාලයක් විකාශනය වෙමින් සම්පූර්ණ පැය දෙකක් හෝ ඊට වැඩි කාලයක් මෙම නාට්‍ය විකාශනය වෙනවා. ඒ ආකාරයට මීට පෙර සිරස නාළිකාවේ “රන් දෙපැය” වෙන් වූයේ මහ ගෙදර, වසූදා, ප්‍රවීණා යන නාට්‍ය වලටයි. අද වන විට අපට සෝප් ඔපෙරා වශයෙන් දැක ගත හැකි වන්නේ ආදරෙයි මං ආදරෙයි, සඳහටම ඔබ මගේ, මේ ආදරයයි, ස්වප්නා ආදි නාට්‍යයයි. මේ සෑම නාට්‍යයකම එක් සුවිශේෂී කාන්තාවක් කැපී පෙනෙනවා. ඒ අනුව අද හැමදෙනාම අතර ප්‍රසිද්ධ චරිත වන්නේ ඉහත කතාවල රඟපාන ඉෂාණි, ස්වප්නා, ඉෂිතා ආදී චරිතයි. මෙම සෝප් ඔපෙරාවල කාන්තාව ඉලක්ක කර ගැනීමට යොදා ගත් ක්‍රමෝපායන් බොහෝ තියෙනවා. ඒ නිසා තමයි වර්තමාන කාන්තාව මෙම නාට්‍ය නැරඹීමට විශේෂ හේතුව. ඒ අනුව,
අලංකාර ඇඳුම් පැළඳුම්
අලංකාර ලෙස පිළිවෙළකට සකසන ලද නිවෙස්
නිර්භීත කාන්තාවක්
තම ස්වාමියා හෝ පෙම්වතා වෙනුවෙන් දිවි පරදුවට තබා කටයුතු කරන කාන්තාවක්
ප්‍රධාන කාන්තාවට අමතරව අනෙක් කාන්තාවන්ද ආකර්ෂණීය ඇඳුමෙන් හා ආභරණවලින් සැරසීම
දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම එම නාට්‍ය කාන්තාවටම සුවිශේෂ වීම ප්‍රධාන හේතුවක් වන්නේ කාන්තාවන් බොහෝ ප්‍රිය කරන ආකාරයේ ඇඳුම් පැළඳුම් එමඟින් දැක ගත හැකි වීමයි. නිවසටම හැඳ සිටින ඇඳුමෙන් හදිසියේ නිවසින් පිටත යාමටද හැකි වන පරිදි එම ඇඳුම් නිර්මාණය වී තිබීම එහි විශේෂත්වයක්. එම නාට්‍ය තුළ,
■ පවුල් ජීවිතය
■ පුද්ගල සම්බන්ධතා
■ ආවේගාත්මක හා සදාචාරාත්මක ගැටුම්
යන වස්තු විෂයන් ඔස්සේ එම කතාංග ගෙතී තියෙනවා. සෝප් ඔපෙරාවන් ලෙස හඳුනා ගන්නා මෙම නාට්‍යයන්ට විෂය කර ගන්නා කතා පුවත් කිසියම් පවුලක් හෝ ඊට සම්බන්ධ ඥාාතීන්, හිත මිතුරන් එසේත් නැතහොත් කාර්යාලයක් හෝ සම්බන්ධ ජීවත් වන අසල්වාසීන් පිරිසක් ආදී වශයෙන් වු සමාජ කණඩායම් වටා කතාව ගලා යෑමක් අපට දැක ගන්න පුළුවන්. ඒ තුළ එදිනෙදා සාමාන්‍ය ජන ජීවිත පිළිඹිබු කරලීම තුළ කාන්තාවන් තව දුරටත් ඒ කෙරෙහි ආකර්ෂණය වීමක් සිදු වෙනවා. ඒ නිසා මෙම නාට්‍ය නැරඹීමට බොහෝ කැමැත්තක් දක්වන කාන්තාවන් රාත්‍රියේ ආහාර පිසින අතරතුරදී වුව නාට්‍ය නැරඹීම දක්නට පුළුවන්. මෙම නාට්‍ය එක දවසක් හෝ නොබැලුවාට තේරුම් ගැනීමේ අපහසුවක් නෑ. දින කිහිපයක් නොබලා අතරමඟදී බැලූ පමණින් තේරුම් ගත හැකි වන පරිදි මෙම නාට්‍ය නිර්මාණය වීමත් කාන්තාවන්ට පහසුවකි. මන්ද නිවසේ ගෘහණියන් දිනපතා නිවස තුළ සිදුකරන කාර්යයන් සමඟ නාට්‍ය නැරඹීම විටෙක මඟ හැරෙන්නට ඉඩ තියෙනවා. ඒ නිසා කාන්තාවන් කවදා කොතනින් කතාව නැරඹීමට පටන් ගත්තද ඔවුන්ට කතාව තේරුම් ගැනීමට හැකි වීම නිසාම ඔවුන් මෙම නාට්‍ය නැරඹීමට විශේෂ කැමැත්තක් දක්වනවා.
