Friday, August 11, 2017

ජනමාධ්‍ය හරහා කැළඹෙන ළමා මනස

ජන මාධ්‍යයෙන් ළමුන් කෙරෙහි සිදු කරන අහිතකර බලපෑම් ගැන ලොව පුරා නිදසුන් අපමණයි. පහත දැක්වෙන සිද්ධිය ඇමරිකාවේ සිදු වූවක්. ඔබත් ඒ පිළිබඳ අවධානය යොමු කරන්න.
“දිනක් ඇමරිකානු කාන්තාවකට දුරකථන ඇමතුමක් ලැබිණි. එය ඇසූ ඇය මොහොතකට ගල් ගැසී සිටියාය. නිවසේ ඒ වන විට සිටියේ ඇගේ දරුවා පමණි. ඇය ඔහු වෙත පැමිණ මෙසේ  කීවාය. 

“පුතේ... ඔයාගේ සීයා මැරිලා...”
(දරුවා එක්වරම මෙසේ ඇසුවාය.)
“කවුද අම්මේ එයාට වෙඩි තියල තියෙන්නේ ?”

සිව්වෙනි ලෝක කාන්තා සම්මේලනයේදී අනාවරණය වූ එක් කරුණක් දෙසට මෙහිදී අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. එනම් ස්ත්‍රී පුරුෂ භේදය ශක්තිමත් කිරීම පිණිස රූපවාහිනී වැඩසටහන් උපයෝගී වන බවයි. මෙහිදී පිරිමි ළමයි රුපවාහිනියේ දැක්වෙන පුරුෂ චරිත ශක්තිමත්, කළහකාරී ඒවා ලෙස දකිනවා. එසේම ගැහැණු චරිත පිරිමින්ගේ ගොදුරු ලෙසද හඳුනා ගන්නට පෙළඹෙනවා. 

මේ අනුව පැහැදිලි වෙනවා ප්‍රචණ්ඩත්වය උත්කර්ෂයෙන් යුතුව ඉදිරිපත් කරන්නට රූපවාහිනිය කටයුතු කරන බව. මෙහිදී ඇතැම් කාටුන් වැඩසටහන් ගැනද මතක් කර යුතුමයි. බොහෝ කාටුන් ප්‍රචණ්ඩත්වයෙන් පිරී තියෙනවා. ඉතා බිහිසුණු ලෙස මරණයට පත් වීමෙන් පසු නැවත ජීවිතය ලබන චරිත ඒවයේ දක්නට ලැබෙනවා.  එසේම ප්‍රවෘත්ති වැඩසටහන් හෝ වාර්තා ද සංවේදජනක ලෙස නිර්මාණය කිරීමෙන් වැරදි ලෙස අරුත් ගැන්වෙනවා. 

ළමුන් ලේ වැගිරීමේ දර්ශන නැරඹීමෙන් සංත්‍රාසයට පත්වෙන බව ඔබ දන්නවා. එසේම කලහකාරීත්වය මඟින් ගැටළු විසඳා ගත හැකිය යන සංඥාවද ඔහුගේ මනස තුළ ලැඟුම් ගන්නවා. එවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවලට විපාක නොලැබෙන බවද වැඩසටහන් මඟින් නිරූපණය කෙරෙනවා. ලොව පුරාම ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින කේබල් සහ චන්ද්‍රිකා රූපවාහිනී මඟින් නව ගැටළු උද්ගත වන බව පර්යේෂකයෝ පවසනවා. මෙහි ඇති ඛේදනීය කාරණය වන්නේ සංවර්ධනය වෙමින් පවතින අප වැනි රටවලට තමන්ගේ ම වැඩසටහන් නිපදවා ගන්නට සම්පත් හිඟ වීමයි. ඒ නිසා විවිධ වයස් මට්ටම්වල නරඹන්නන් ප්‍රිය කරන පහසුවෙන් පරිවර්තනය කළ හැකි කාටුන් මෙරටට ගෙන්වනු ලැබෙනවා.

මම වගේම ඔබත් ඉතා ආශාවෙන් නැරඹූ කාටුන් චිත්‍රපටයක් තමයි "ICE AGE" කියන්නේ. එහි රාක්ෂයෙක්, බූරුවෙක් සහ රජ කුමරියක් ප්‍රධාන චරිත වෙනවා. එක් අවස්ථාවක ගල් ගුහාවක කල් ගත කරන ඔවුහු පසුදා උදෑසන අවදි වෙනවා. කුමරිය එක්තරා කුරුල්ලෙකු දකිනවා. කිසියම් හේතුවක් නිසා කුරුල්ලා පිපිරී මිය යනවා. ඇය වහාම කුරුලු බිත්තර රැගෙන ඒවායින් රසවත් ආහාර තනා රාක්ෂයාට දෙනවා. මෙය බටහිර රටක එතරම් දෙයක් නොවේ. එහෙත් එවැනි දෙයක් අපේ රටේ දරුවන්ට ලබා දීම සංස්කෘතික හා ආගමික වශයෙන් නොගැළපෙනවා. මේ තුළින් අපට පේනවා රූපවාහිනිය කොයිතරම් නම් ළමා මනස ආකර්ෂණය කර ගැනීමට තැත් දරනවාද යන වග.

එහෙත් මේ සියල්ල මැද්දේ රූපවාහිනිය ඇතුළු අනෙකුත් ජනමාධ්‍ය ළමයින් සම්බන්ධව සාධනීය ලෙසද බලපානවා. විශේෂයෙන්ම රූපවාහිනිය ළමා අධ්‍යාපනය හා සංවර්ධනය සඳහා භාවිත කළ හැකි වෙනවා. ඒ අතරම අද ළමා පරපුර එදාට වඩා දැනුම අතින් දියුණුයි. කලාව, විද්‍යාව තාක්ෂණය, ආගමික කරුණු, පරිසරය පිළිබඳ ආදරය ඇති කිරීමට ජනමාධ්‍ය මනා උත්ප්‍රේරකයක් වෙනවා. එසේම අද සමාජ ආරක්ෂාව ද දැනුම පරපුරෙන් පරපුරට ගෙනයාම ද සිදු කරන්නේ ජනමාධ්‍ය මඟින්. ඒ නිසා වඩාත් යහපත් ලෙස ළමා පරපුර වෙත ජනමාධ්‍ය මඟින් සංදේශ නිකුත් කළ යුතුයි. එය අර්ථවත් අනාගතයකට පෙරමඟ සෑදිමක් වෙනවා. 


   

Tuesday, August 1, 2017

සංස්කෘතිය තුළින් ගොඩනැඟුණු අන්තර් සංස්කෘතිය

ලෙස්ලි ඒ වයිට් ප්‍රකාශ කර ඇති පරිදි “සංස්කෘතිය වනාහි සංකේතාත්මකවූත්, අඛණ්ඩවූත්, අළුතින් දේවල් එකතු කර ගන්නාවූත් ප්‍රගතිශීලී ක්‍රියාදාමයකි.” වර්තමාන සමාජය අතිශය සංකීර්ණ වූවකි. මෙම සංකීර්ණත්වයට ආර්ථික, සමාජීය, දේශපාලනය යන සාධක බලපා ඇත. ඊට අමතරව භූගෝලීය සාධක මෙන්ම සංක්‍රමණ, ආක්‍රමණ වැනි හේතූන්ද බලපා තිබේ. වර්තමාන සමාජයේ සංස්කෘතික ස්වභාවය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී භාෂා රටාව, ඇදහලි හා විශ්වාස, සිරිත් විරිත් මෙන්ම ඇඳුම් පැළඳුම්වල වෙනස්කම් ද සිදු විී ඇත්තේ පවතින සමාජයට අනුකරණය වීමක් ලෙසය. මේ අනුව අපගේ සියළු ක්‍රියාකාරකම් හා සිතුම් පැතුම් සංස්කෘතිය මත තීරණය කෙරේ. අපි සියළු දෙනාම සමාජය තුළ පිළිගත් ජීවන රටාවකට අනුව හැඩගැසී සිටිමු. මේ හැඩගැස්ම හෙවත් හැදියාව සංස්කෘතිය වන්නේය. පුද්ගලයෙකු වශයෙන් උපතේ සිට මරණය දක්වා අපි හැසිරෙන්නේ එකිනෙකාට උරුම වූ සංස්කෘතියකට අනුව වේ. ජන සමාජයේ දක්නට ලැබෙන සියළුම බලවේග මෙහෙයවන ලක්ෂණ සංස්කෘතියට අයත් වේ. 

සංස්කෘතික අධ්‍යනය යනු, විවිධ සමාජවල සංස්කෘතික ප්‍රභවය අධ්‍යයනය කිරීමට භාවිත කෙරෙන අතිශය සංකල්‍යවාදී අධ්‍යනයකි. එහිදී ස්ත්රීවාදී න්‍යාය, සමාජ න්‍යාය, දේශපාලන න්‍යාය, ඉතිහාසය, දර්ශනය, සාහිත්‍ය න්‍යාය, මාධ්‍ය න්‍යාය, චිත්‍රපට හා වීඩියෝ අධ්‍යයනය, සන්නිවේදන අධ්‍යයනය, දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව, කෞතුක හා කලා විචාරය යන විෂය ක්ෂේත්‍ර ගණනාවකින් සම්බන්ධව ඇති අයුරු හදුනාගත හැක. මේ සංස්කෘතික අධ්‍යයනයේදී යම් සංස්කෘතියක් තුළ විවිධ අර්ථ උත්පාදනය කරන, ඒවා සමාජය පුරා විසුරුවා හරින, එමෙන්ම නැවත ප්‍රතිනිෂ්පාදනය කරන සමාජයේ ඇති විවිධ ව්‍යවහාරයන්, භාවිතයන්, විශ්වාසයන්, ආයතන සහ දේශපාලන, ආර්ථික හා සමාජීය ව්‍යූහයන් මොනවාද යන්න හඳුනා ගැනීමට උත්සාහ ගනියි. 

සංස්කෘතිය තුළින් ගොඩනැඟුණු අන්තර් සංස්කෘතිය වනාහි අද ලොව පුරා විහිදී යන්නකි. විවිධ සංස්කෘතීන් තුළ පවත්නා විවිධත්වය නොතකමින් ඒ එක් එක් සංස්කෘතීන්ට හැඩගැසීම අන්තර් සංස්කෘතිය නම් වේ. මේ සදහා උදාහරණයක් වශයෙන් ගතහොත් ලාංකීය ජනතාව ඉන්දියානු ඇඳුම් විලාසිතාවලට හැඩගැසී ඇත. ඊට අමතරව තවත් ආකාරයට එක් සංස්කෘතියක් තවත් සංස්කෘතියක පවත්නා සිරිත් විරිත්, ඇදහිලිවලට ක්‍රමයෙන් ඇදීයාමක් දක්නට ලැබේ. ඒ තුළ දක්නට ඇත්තේ අන්තර් සංස්කෘතියක් ගොඩනැඟීමයි. මෙහදිී අනුකරණය වීමක් දක්නට ලැබෙනවා යන්න පැවසීම ද වරදක් නොවේ. 

මෙම අන්තර් සංස්කෘතිය බිහිවීීමට දෙවන ලෝක යුද්ධයෙන් පසු කාලය බලපා ඇත. ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් වශයෙන්ද ලොව පුරා අන්තර් සංස්කෘතියට මිනිසා ක්‍රමයෙන් හැඩගැසීමක් දක්නට ලැබී ඇත. එකී හැඩගැසීම තුළ ලාංකීය ජනතාව තමන්ට ආවේණික සංස්කෘතික ගතිලක්ෂණයන්ගෙන් ඔබ්බට යමින් අන්‍ය සංස්කෘතික ලක්ෂණ තම ජීවිතවලට ආඳා ගන්නට විය. ඒ අනුව භාෂාව, ඇදුම් පැළදුම්, සිරිත් විරිත්, ඇදහීම් තුළ දක්නට ලැබුණේ  අන්තර් සංස්කෘතික ලක්ෂණයන් ය. ඉන් ඔබ්බට ගිය නිර්මාණකරුවා ද නව නිර්මාණකරණය තුළින් අන්තර් සංස්කෘතිය හුවා දැක්වීමට මහත් වෙහෙසක් දැරීය. ඒ ඔස්සේ ගීතයට, නර්තනයට, සිනමාවට ආදී බොහෝ කලා ක්ෂේත්‍රයන්ට අන්තර් සංස්කෘතික ලක්ෂණ අන්තර්ගත කිරීම දැක ගත හැකි විය. විශේෂයෙන් ම ලාංකීය ජනතාව තම සංස්කෘතික ලක්ෂණයන්ට හැඩගැසෙමින් අන්තර් සංස්කෘතික ලක්ෂණයන්ට හැඩගැසුණේ දකුණු ඉන්දියාවේ සංස්කෘතික ලක්ෂණයන් අනුකරණය කරමිනි. එදා සිට අද පවත්නා තත්ත්වය දෙස බලන කල්හි එය මනාව තහවුරු වේ.