Friday, August 11, 2017

ජනමාධ්‍ය හරහා කැළඹෙන ළමා මනස

ජන මාධ්‍යයෙන් ළමුන් කෙරෙහි සිදු කරන අහිතකර බලපෑම් ගැන ලොව පුරා නිදසුන් අපමණයි. පහත දැක්වෙන සිද්ධිය ඇමරිකාවේ සිදු වූවක්. ඔබත් ඒ පිළිබඳ අවධානය යොමු කරන්න.
“දිනක් ඇමරිකානු කාන්තාවකට දුරකථන ඇමතුමක් ලැබිණි. එය ඇසූ ඇය මොහොතකට ගල් ගැසී සිටියාය. නිවසේ ඒ වන විට සිටියේ ඇගේ දරුවා පමණි. ඇය ඔහු වෙත පැමිණ මෙසේ  කීවාය. 

“පුතේ... ඔයාගේ සීයා මැරිලා...”
(දරුවා එක්වරම මෙසේ ඇසුවාය.)
“කවුද අම්මේ එයාට වෙඩි තියල තියෙන්නේ ?”

සිව්වෙනි ලෝක කාන්තා සම්මේලනයේදී අනාවරණය වූ එක් කරුණක් දෙසට මෙහිදී අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. එනම් ස්ත්‍රී පුරුෂ භේදය ශක්තිමත් කිරීම පිණිස රූපවාහිනී වැඩසටහන් උපයෝගී වන බවයි. මෙහිදී පිරිමි ළමයි රුපවාහිනියේ දැක්වෙන පුරුෂ චරිත ශක්තිමත්, කළහකාරී ඒවා ලෙස දකිනවා. එසේම ගැහැණු චරිත පිරිමින්ගේ ගොදුරු ලෙසද හඳුනා ගන්නට පෙළඹෙනවා. 

මේ අනුව පැහැදිලි වෙනවා ප්‍රචණ්ඩත්වය උත්කර්ෂයෙන් යුතුව ඉදිරිපත් කරන්නට රූපවාහිනිය කටයුතු කරන බව. මෙහිදී ඇතැම් කාටුන් වැඩසටහන් ගැනද මතක් කර යුතුමයි. බොහෝ කාටුන් ප්‍රචණ්ඩත්වයෙන් පිරී තියෙනවා. ඉතා බිහිසුණු ලෙස මරණයට පත් වීමෙන් පසු නැවත ජීවිතය ලබන චරිත ඒවයේ දක්නට ලැබෙනවා.  එසේම ප්‍රවෘත්ති වැඩසටහන් හෝ වාර්තා ද සංවේදජනක ලෙස නිර්මාණය කිරීමෙන් වැරදි ලෙස අරුත් ගැන්වෙනවා. 

ළමුන් ලේ වැගිරීමේ දර්ශන නැරඹීමෙන් සංත්‍රාසයට පත්වෙන බව ඔබ දන්නවා. එසේම කලහකාරීත්වය මඟින් ගැටළු විසඳා ගත හැකිය යන සංඥාවද ඔහුගේ මනස තුළ ලැඟුම් ගන්නවා. එවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවලට විපාක නොලැබෙන බවද වැඩසටහන් මඟින් නිරූපණය කෙරෙනවා. ලොව පුරාම ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින කේබල් සහ චන්ද්‍රිකා රූපවාහිනී මඟින් නව ගැටළු උද්ගත වන බව පර්යේෂකයෝ පවසනවා. මෙහි ඇති ඛේදනීය කාරණය වන්නේ සංවර්ධනය වෙමින් පවතින අප වැනි රටවලට තමන්ගේ ම වැඩසටහන් නිපදවා ගන්නට සම්පත් හිඟ වීමයි. ඒ නිසා විවිධ වයස් මට්ටම්වල නරඹන්නන් ප්‍රිය කරන පහසුවෙන් පරිවර්තනය කළ හැකි කාටුන් මෙරටට ගෙන්වනු ලැබෙනවා.

මම වගේම ඔබත් ඉතා ආශාවෙන් නැරඹූ කාටුන් චිත්‍රපටයක් තමයි "ICE AGE" කියන්නේ. එහි රාක්ෂයෙක්, බූරුවෙක් සහ රජ කුමරියක් ප්‍රධාන චරිත වෙනවා. එක් අවස්ථාවක ගල් ගුහාවක කල් ගත කරන ඔවුහු පසුදා උදෑසන අවදි වෙනවා. කුමරිය එක්තරා කුරුල්ලෙකු දකිනවා. කිසියම් හේතුවක් නිසා කුරුල්ලා පිපිරී මිය යනවා. ඇය වහාම කුරුලු බිත්තර රැගෙන ඒවායින් රසවත් ආහාර තනා රාක්ෂයාට දෙනවා. මෙය බටහිර රටක එතරම් දෙයක් නොවේ. එහෙත් එවැනි දෙයක් අපේ රටේ දරුවන්ට ලබා දීම සංස්කෘතික හා ආගමික වශයෙන් නොගැළපෙනවා. මේ තුළින් අපට පේනවා රූපවාහිනිය කොයිතරම් නම් ළමා මනස ආකර්ෂණය කර ගැනීමට තැත් දරනවාද යන වග.

එහෙත් මේ සියල්ල මැද්දේ රූපවාහිනිය ඇතුළු අනෙකුත් ජනමාධ්‍ය ළමයින් සම්බන්ධව සාධනීය ලෙසද බලපානවා. විශේෂයෙන්ම රූපවාහිනිය ළමා අධ්‍යාපනය හා සංවර්ධනය සඳහා භාවිත කළ හැකි වෙනවා. ඒ අතරම අද ළමා පරපුර එදාට වඩා දැනුම අතින් දියුණුයි. කලාව, විද්‍යාව තාක්ෂණය, ආගමික කරුණු, පරිසරය පිළිබඳ ආදරය ඇති කිරීමට ජනමාධ්‍ය මනා උත්ප්‍රේරකයක් වෙනවා. එසේම අද සමාජ ආරක්ෂාව ද දැනුම පරපුරෙන් පරපුරට ගෙනයාම ද සිදු කරන්නේ ජනමාධ්‍ය මඟින්. ඒ නිසා වඩාත් යහපත් ලෙස ළමා පරපුර වෙත ජනමාධ්‍ය මඟින් සංදේශ නිකුත් කළ යුතුයි. එය අර්ථවත් අනාගතයකට පෙරමඟ සෑදිමක් වෙනවා. 


   

Tuesday, August 1, 2017

සංස්කෘතිය තුළින් ගොඩනැඟුණු අන්තර් සංස්කෘතිය

ලෙස්ලි ඒ වයිට් ප්‍රකාශ කර ඇති පරිදි “සංස්කෘතිය වනාහි සංකේතාත්මකවූත්, අඛණ්ඩවූත්, අළුතින් දේවල් එකතු කර ගන්නාවූත් ප්‍රගතිශීලී ක්‍රියාදාමයකි.” වර්තමාන සමාජය අතිශය සංකීර්ණ වූවකි. මෙම සංකීර්ණත්වයට ආර්ථික, සමාජීය, දේශපාලනය යන සාධක බලපා ඇත. ඊට අමතරව භූගෝලීය සාධක මෙන්ම සංක්‍රමණ, ආක්‍රමණ වැනි හේතූන්ද බලපා තිබේ. වර්තමාන සමාජයේ සංස්කෘතික ස්වභාවය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී භාෂා රටාව, ඇදහලි හා විශ්වාස, සිරිත් විරිත් මෙන්ම ඇඳුම් පැළඳුම්වල වෙනස්කම් ද සිදු විී ඇත්තේ පවතින සමාජයට අනුකරණය වීමක් ලෙසය. මේ අනුව අපගේ සියළු ක්‍රියාකාරකම් හා සිතුම් පැතුම් සංස්කෘතිය මත තීරණය කෙරේ. අපි සියළු දෙනාම සමාජය තුළ පිළිගත් ජීවන රටාවකට අනුව හැඩගැසී සිටිමු. මේ හැඩගැස්ම හෙවත් හැදියාව සංස්කෘතිය වන්නේය. පුද්ගලයෙකු වශයෙන් උපතේ සිට මරණය දක්වා අපි හැසිරෙන්නේ එකිනෙකාට උරුම වූ සංස්කෘතියකට අනුව වේ. ජන සමාජයේ දක්නට ලැබෙන සියළුම බලවේග මෙහෙයවන ලක්ෂණ සංස්කෘතියට අයත් වේ. 

සංස්කෘතික අධ්‍යනය යනු, විවිධ සමාජවල සංස්කෘතික ප්‍රභවය අධ්‍යයනය කිරීමට භාවිත කෙරෙන අතිශය සංකල්‍යවාදී අධ්‍යනයකි. එහිදී ස්ත්රීවාදී න්‍යාය, සමාජ න්‍යාය, දේශපාලන න්‍යාය, ඉතිහාසය, දර්ශනය, සාහිත්‍ය න්‍යාය, මාධ්‍ය න්‍යාය, චිත්‍රපට හා වීඩියෝ අධ්‍යයනය, සන්නිවේදන අධ්‍යයනය, දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව, කෞතුක හා කලා විචාරය යන විෂය ක්ෂේත්‍ර ගණනාවකින් සම්බන්ධව ඇති අයුරු හදුනාගත හැක. මේ සංස්කෘතික අධ්‍යයනයේදී යම් සංස්කෘතියක් තුළ විවිධ අර්ථ උත්පාදනය කරන, ඒවා සමාජය පුරා විසුරුවා හරින, එමෙන්ම නැවත ප්‍රතිනිෂ්පාදනය කරන සමාජයේ ඇති විවිධ ව්‍යවහාරයන්, භාවිතයන්, විශ්වාසයන්, ආයතන සහ දේශපාලන, ආර්ථික හා සමාජීය ව්‍යූහයන් මොනවාද යන්න හඳුනා ගැනීමට උත්සාහ ගනියි. 

සංස්කෘතිය තුළින් ගොඩනැඟුණු අන්තර් සංස්කෘතිය වනාහි අද ලොව පුරා විහිදී යන්නකි. විවිධ සංස්කෘතීන් තුළ පවත්නා විවිධත්වය නොතකමින් ඒ එක් එක් සංස්කෘතීන්ට හැඩගැසීම අන්තර් සංස්කෘතිය නම් වේ. මේ සදහා උදාහරණයක් වශයෙන් ගතහොත් ලාංකීය ජනතාව ඉන්දියානු ඇඳුම් විලාසිතාවලට හැඩගැසී ඇත. ඊට අමතරව තවත් ආකාරයට එක් සංස්කෘතියක් තවත් සංස්කෘතියක පවත්නා සිරිත් විරිත්, ඇදහිලිවලට ක්‍රමයෙන් ඇදීයාමක් දක්නට ලැබේ. ඒ තුළ දක්නට ඇත්තේ අන්තර් සංස්කෘතියක් ගොඩනැඟීමයි. මෙහදිී අනුකරණය වීමක් දක්නට ලැබෙනවා යන්න පැවසීම ද වරදක් නොවේ. 

මෙම අන්තර් සංස්කෘතිය බිහිවීීමට දෙවන ලෝක යුද්ධයෙන් පසු කාලය බලපා ඇත. ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් වශයෙන්ද ලොව පුරා අන්තර් සංස්කෘතියට මිනිසා ක්‍රමයෙන් හැඩගැසීමක් දක්නට ලැබී ඇත. එකී හැඩගැසීම තුළ ලාංකීය ජනතාව තමන්ට ආවේණික සංස්කෘතික ගතිලක්ෂණයන්ගෙන් ඔබ්බට යමින් අන්‍ය සංස්කෘතික ලක්ෂණ තම ජීවිතවලට ආඳා ගන්නට විය. ඒ අනුව භාෂාව, ඇදුම් පැළදුම්, සිරිත් විරිත්, ඇදහීම් තුළ දක්නට ලැබුණේ  අන්තර් සංස්කෘතික ලක්ෂණයන් ය. ඉන් ඔබ්බට ගිය නිර්මාණකරුවා ද නව නිර්මාණකරණය තුළින් අන්තර් සංස්කෘතිය හුවා දැක්වීමට මහත් වෙහෙසක් දැරීය. ඒ ඔස්සේ ගීතයට, නර්තනයට, සිනමාවට ආදී බොහෝ කලා ක්ෂේත්‍රයන්ට අන්තර් සංස්කෘතික ලක්ෂණ අන්තර්ගත කිරීම දැක ගත හැකි විය. විශේෂයෙන් ම ලාංකීය ජනතාව තම සංස්කෘතික ලක්ෂණයන්ට හැඩගැසෙමින් අන්තර් සංස්කෘතික ලක්ෂණයන්ට හැඩගැසුණේ දකුණු ඉන්දියාවේ සංස්කෘතික ලක්ෂණයන් අනුකරණය කරමිනි. එදා සිට අද පවත්නා තත්ත්වය දෙස බලන කල්හි එය මනාව තහවුරු වේ.

  

Sunday, July 16, 2017

ප්‍රවෘත්ති යනු ඉතිහාසයේ ප්‍රථම දළ සටහනයි.


ප්‍රවෘත්ති යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද යන්න විමසීමේදී අංශ රැසක් කෙරෙහි අවධානය යොමු කළ හැකිය. ඒ කාලානුරූපීව විවිධ පුද්ගලයන් ප්‍රවෘත්ති පිළිබඳ අර්ථ නිරූපණ සපයා ඇති බැවිනි මෙම සෑම ප්‍රකාශයකම ප්‍රවෘත්ති යන්නට වැදගත්කමක් ලබා දී තිබේ. එමෙන්ම ප්‍රවෘත්තිවලින් සිදුකෙරෙන කාර්යභාරය පිළිබඳවද අදහස් පළ වී ඇත. වඩාත් සුපුරුදු නිර්වචන මෙන්ම ඇතැම් විට නුපරුදු නිර්වචනද ඒ අතර වෙයි. ඉන් කීපයක් විමසා බලමු.

පුවෘත්ති යනු ප්‍රජාවේ විශාල කොටසක් උනන්දුව දක්වන හැම දෙයක්ම වෙයි. මීට කලින් කිසි විටෙක අවධානය යොමු නොවුණු දෙයක් වෙයි.
                                                    - චාල්ස් ඒ ඩානා - 

බල්ලෙක් මිනිසෙකු සපා කෑ විට එය ප්‍රවෘත්තියක් නොවේ. මක්නිසාද එය නිතර සිදුවන්නකි. එහෙත් මිනිසෙක් බල්ලෙකු සපා කෑ විට එය ප්‍රවෘත්තියකි. 
                                               - ජෝන් ඩී බොගාඞ් -

ප්‍රවෘත්ති යනු ඉතිහාසයේ ප්‍රථම දළ සටහනයි.
                                                - බ්‍රෙන් බ්‍රැඩී -

මෙවැනි නිර්වචනවලින් පෙනී යන්නේ ප්‍රවෘත්ති පිළිබඳව විවිධ අර්ථකථන බිහිවී ඇති බවයි. කෙසේ වෙතත් එය ජනතාවට ලබා දිය යුතු අලුත් හා නැවුම් තොරතුරක් බව බොහෝ නිර්වචන වල ගැබ්ව ඇති අදහසකි.

මේ වන විට නම් ප්‍රවෘත්ති මිල අධික වෙළඳ භාණ්ඩයක තත්ත්යවකට පත්ව ඇත. ඊට විශාල ඉල්ලුමක් හා වටිනාකමක් නියම වී පවතී. රට අභ්‍යන්තයේ මෙන්ම රටින් පිටත සිදුවීම් පිළිබඳව බහුතරයක් දෙනා උනන්දුවක් දක්වති.

ලෝකය පුරාම එක් දිනක් තුළ සිදුවීම් රැසක් සිදුවෙයි. එම සෑම සිදුවීමක්ම ජනමාධ්‍ය මඟින් වාර්තා නොකරයි. ඉන් හැඟී යන්නේ ප්‍රවෘත්ති යනු යම් සිදුවීමක් වුවද සෑම සිදුවීමක්ම ප්‍රවෘත්ති නොවන බවයි. විවිධ හේතු ඊට ඇත. ජනමාධ්‍ය වාර්තා කරන්නේ තෝා ගත් කොටසක් පමණි. එනම් සිදුවීම් ලක්ෂ ගණනින් සීමිත සංඛ්‍යාවකි. මෙසේ සීමාසහිත ප්‍රමාණයක් ලබා දීම සඳහා තෝරා ගැනීමේ කාර්යය මහා පරිමාණයෙන් සිදු කළ යුතුය. එම තෝරා ගැනීම පදනම් වන්නේ කුමක් මතද? එය විමසිය යුතුය. අපි ඒවාට ප්‍රවෘත්ති වටිනාකම් යැයි කියමු.

ඔබත් ප්‍රවෘත්තියක වටිනාකම දැන ගන්න.
කාලීන බව
සමීප බව
අදාළ බව
නැවුම් බව
බලපෑම හා ආකර්ෂණය
කැපී පෙනීම

ආදී කරුණු කීපයක් මූලික වශයෙන් ප්‍රවෘත්ති තෝරා ගැනීමට දායක වෙයි. ඒ හැරුණු විට,
අසාමාන්‍ය තොරතුරු
ගැටුම්කාරී තොරතුරු
සංවර්ධන තොරතුරු
රාජ්‍ය තොරතුරු
ස්වාභාවික තොරතුරු

ආදියත් වැදගත් වෙයි.

සිද්ධිමය වටිනාකම් ඇති වාර්තාකරණය සඳහා වාර්තාකරුට මඟ පෙන්වන්නේ මොනවාද යන ප්‍රශ්ණය මතු වූ විට ඉහත සඳහන් සාධක කෙරෙහි අවධානය යොමු කළ හැකිය. ප්‍රවෘත්තිමය වටිනාකමක් ඇති සිද්ධියකට කොතරම් ඉඩක් වෙන් කළ යුතුද යන්න තීරණය කිරීමටද එම සාධක ඉවහල් වෙයි. වර්තමාන තොරතුරු යුගයේ මූලිකම අවශ්‍යතාවයක් ලෙස ප්‍රවෘත්ති හැඳින්විය හැකිය. ඒ අනුව ප්‍රවෘත්ති වනාහි කිසියම් සිදුවීමක් පසුපස හඹා යන සෙවණැල්ලකි.  




Friday, July 7, 2017

ලෝකයේ ඇතුල් වීමට අවසර නොමැති රහස් ස්ථාන 10

1.     Google Data Center

අප භාවිත කරන Google තොරතුරු සියල්ලම මෙහි ගබඩා වේ. Area 51 ප්‍රදේශයට සමාන ආරක්ෂාවක් මෙම ස්ථානයට ලබා දී තිබේ.

2.     Area 51

ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයට අයත් ප්‍රදේශයක පිහිටි මෙම ස්ථානය ඇමරිකාවේ රහස් යුධ කටයුතු සඳහා භාවිත කරන බව වාර්තා වේ. තවද හඳුනා නොගත් පියාසර කරන යානා සහ පිටසක්වල ජීවීන් ගැන පරීක්ෂණ කටයුතු මෙහිදී සිදු කෙරෙන බව ආරංචි පැතිරෙයි. නමුත් තවමත් මෙම ප්‍රදේශය ගැන නිල වශයෙන් ප්‍රකාශයක් කර නොමැත.


3.     Disney Club 33 Exclusive Club

ඇමරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ පිහිටි ඩිස්නිලන්තයේ පිහිටා තිබෙන ස්ථානයකි. විශේෂ පුද්ගලයින් පමණක් සතුටු වීමට නිතර පැමිණෙන ස්ථානයකි. ඇමරිකානු ජනාධිපති සහ සුපිරි තරු මෙම ස්ථානයට පැමිණෙන පුද්ගලයින් අතර වේ.


4.     Mezghory, Russia

රුසියාවේ රහස් න්‍යෂ්ටික මිසයිල සවිකර ඇති ප්‍රදේශයකි. දුරස්ථ පාලක මඟින් ක්‍රියාත්මක වන ස්වයංක්‍රීය බැලස්ටික් මිසයිල මෙහි පිහිටා තිබෙන බව වාර්තා වේ.


5.     Room 39 North Korea

උතුරු කොරියාවේ Room 39 නමින් හැඳින්වෙන මෙය Bureau 39 නමින්ද හඳුන්වනු ලැබේ. උතුරු කොරියානු නායකයා විසින් මුදල් සම්බන්ධ ගණුදෙණු සඳහා මෙය භාවිත කරන බව වාර්තා වේ.


6.     Moscow Metro- 2

රුසියාවේ උමං දුම්රිය මාර්ගයට සමාන්තරව මෙම උමං මාර්ගය පිහිටා ඇත. රුසියානු බුද්ධි අංශ විසින් පවත්වා ගෙන යන උමඟකි. රුසියාවේ අධි ආරක්ෂිත ස්ථාන වෙත මේ හරහා ගමන් කළ හැකිය.


7.     Pine GAP- Australia

Area 51 ස්ථානයට සමාන ඕස්ටේ්‍රලියාවේ පිහිටි ස්ථානයකි. මෙය පවත්වා ගෙන යනු ලබන්නේ ඔස්ටේ්‍රලියානු රජය විසින් සහ CIA සංවිධානය විසිනි. මෙම ප්‍රදේශයට ඉහළ අහසේ ගුවන් ගමන් පවා තහනම් කර තිබේ.


8.     Lascaux Caves- France

නිරිත දිග ප්‍රංශයේ පිහිටි මෙම ගුහාවේ විශේෂ සිතුවම් කිහිපයකින් සමන්විත වේ. එම සිතුවම් අවුරුදු 17,500ක් පමණ පැරණි ඒවා බව වාර්තා වේ. කලකදී මෙම චිත්‍ර නැරඹීමට මහජනයාට අවස්ථාව ලබා දුන්නද පසුව එය තහනම් කර තිබේ.


9.     Vatican Secret Archive

වතිකානුවේ පිහිටි පුස්තකාලයකි. මෙම ස්ථානයට ඇතුල් වීමට අවසර තිබෙන්නේ පුද්ගලයින් කිහිප දෙනෙකුට පමණි. මෙහි පොතක් කියවීමට අවශ්‍ය කෙනෙකුට එහි පිටපතක් ඊ- මේල් මඟින් යවනු ලැබේ.



10.      Bohemian Grove

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි මෙම ස්ථානය අක්කර 2,700ක ප්‍රදේශයකි. වසරේ එක් කාලයක මෙම ස්ථානයට ලොව සුපිරි පුද්ගලයින් පැමිණ රහසේ කඳවුරු පවත්වනු ලබයි.



Monday, June 26, 2017

තියන්නට පෙර සිතා බලන්න...

මිනිස් ජීවිතය වනාහි “අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වූ ජීවියෙකුගේ සසරෙහි තාවකාලික නවාතැන් පොළකි.” එදා බුදුන් සමයේ ජීවිතය කළකිරුණු මිනිස් ප්‍රජාව බුදු හිමියන්ගේ පිහිට පැතීය. බුදු හිමි වදනින් සිත් සුවපත් කර ගත්තේය. “පිරුණු කළේ දිය නොසිඳෙයි” පවසනවා සේ එදා සැවොම ධර්මයෙන් සිත් පුරවා ගත්තේ අමා මහ නිවන් මාර්ගය අවබෝධ කර ගැනීමේ පරමාර්ථයෙනි. 

වර්තමාන සමාජය ඒ අනුව පිරිහීමට පත්ව ඇත්තේ ය. තම ජීවිතයේ අරුත වටහා නොගත් මනුෂ්‍යයින් සේ ජීවිතය නිකරුණේ විනාශ කර ගැනීම අද දක්නට ලැබෙන්නේ ඇසට කඳුළක් ද එක් කරමිනි. “පනින්න පෙර සිතා බලන්න” එදා පැවසුවද අද පවසන්නට වී ඇත්තේ “තියන්න පෙර සිතා බලන්න”යනුවෙනි. සමාජය මෙතරම් කුරිරු තත්ත්වයකට පත් වූයේ කෙසේදැයි යන්න කා හටවත් පිළිතුරු නොමැති පැනයක් ඇති කරමින් අද වර්තමානයේ බොහෝ තරුණ ගැහැණු ළමයි දුම්රියට පැන සිය දිවි හානි කර ගැනීම පුරුද්දක් කර ගෙන ඇත. ඒ නිසාම ඉදිරියේදී සියල්ලන්ගේ අවධානය පිණිස දුම්රියේ පෝස්ටර් ගැසීමට සිදු වෙනවාට කිසිඳු සැකයක් නැත.


අනාගත ලොවක් භාර ගැනීමට පෙර මං බලා හිඳිනා පුංචි මල් කැකුළුවන් තරුණ රූමත් ගැහැණු ළමයි මෙලෙස යකඩ යකා ඉදිරියේ තම ජීවිතය අමු  අමුවේ බිිලි දීම කාටනම් ඉවසිය හැක්කක්ද? මෙවැනි අනුවණ ක්‍රියාවකට පෙළඹීමට මූලිකම හේතුවක් වී ඇත්තේ ප්‍රේම සබඳතාය. තම පෙම්වතා තමාව අතහැර වෙනත් තැනැත්තියක්  පෙම්වතිය කර ගැනීම නිසා ඇති වන ක්ෂණික වේදනාව, කෝපය, තරහව හා ඊර්ෂි්‍යාව යනාදී මෙම දුර්ගුණ මත මෙවැනි ක්ෂණික තීරණයකට පෙළඹෙන බව තහවුරු වන්නකි. මෙතරම් දරුණු තීරණයකට මනස ඇදී යාම තුළම මනස කෙතරම් වියවුල් වනවාදැයි ඔබත් මොහොතකට සිතන්න.


වයස අවුරුදු 18-28ත් පමණ වයසේ පසුවන ඕනෑම තරුණියකගේ සිහිනය පෙම්වතියෙකු වීමය. ඒ සිහිනය සැබෑ වී පසු කලෙක එය සිහිනයක්ම වුවහොත් එය මහා සැඩ පහරක් ගලාවිත් තමා මෙපමණ කාලයක් රැස් කළ ධනය විනාශ කළේ නම් එවිට දැනෙන වේදනාව හා සමාන වන්නේය. ඒ නිසයි ඉවසාගත නොහී වේදනාවෙන් තම ජීවිතවලින් වන්දි ගෙවීමට ඔවුන් පෙළඹෙන්නේ. 

ජීවිතය අකාලයේ යකඩ යකාට හසු වී හිස කඳින් වෙන් වන තෙක් බලා හිඳින්නට හැකි තරම් ආත්ම ශක්තියක් ඔවුන්ට ලැබුණේ කාගෙන්ද? ඔවුන් පළි ගත්තේ තම ජීවිතයෙන්ද? එසේත් නැතිනම් සමස්ථ සමාජයෙන්ද? ඔවුන්ට මෙවැනි අසාධාරණකම් වෙනතුරු බලා සිටියා මිසක් කවුරුන් එයට පිළිතුරු සෙව්වේද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලබා දිය හැක්කේ මටවත් ඔබටවත් නොවේ. ඔවුන්ටම යැයි සිතෙන්නේද? එසේ නම් ඔවුන් යළිත් පණ ලැබිය යුතුද? එසේත් නැතිනම් නැවතත් ජීවිතයක් අකාලයේ මියැදීමට නොදී එවැනි තත්ත්වයන් යළිත් නොවෙන්නට මේ සමාජය බුද්ධිමත් කළ යුතුද? සියල්ලන්ම තවදුරටත් මේ පිළිබඳව සිතිය යුතුය. පිළිතුරු ඇති දා ප්‍රශ්න මියැදී යයි.

කිසිදිනෙක තම ජිවිතය කවුරුන් නිසාවත් බිලි නොදෙන්නට අදිටන් කරගන්න. දසමාසයක් තමාව කුසේ දරා සිටියා වූ තම මව් සිතින් මවා ගන්න. දහසක් දුක් කරදර මැදින් තමාව පෝෂණය කළ පිය සෙසෙහසේ වටිනාකම සිතන්න. කෙටි කාලයක් තුළ තම අතක් ස්පර්ෂ කළ පමණින් ඔහු ඔබේ ජීවිතයට සමාන නොකරන්න. හැම විටෙකම සිතින් සිතන්න, බුද්ධියෙන් විමසන්න. එවිට ඔබටත් දවසක හිරු පායාවි.     

Saturday, June 24, 2017

අවධානමට අත වනන "සෙල්ෆි උන්මාදය"


“අනේ ඔන්න ලස්සනට ඉන්න... හිනාවෙන්නකෝ...”මේ අද වර්තමාන සමාජයේ බාල මහළු සෑම දෙනාගේම මුවින් පිටවෙන වදනකි. ඔබටත් එසේ පවසමින් සෙල්ෆි ගැසීමට ආරාධනා ලැබෙන්නට ඇති. වර්තමානයේ ජංගම දුරකථනයක් අතැති ඕනෑම අයෙකු වයස් භේදයකින් තොරව මෙම සෙල්ෆි ගැසිමේ ක්‍රියාවට පෙළඹී ඇත.

තාරුණ්‍යයේ උන්මාදයක්ව අපි දුටු මෙම සෙල්ෆි මාෆියාවට වර්තමානයේ වයස්ගත ආච්චි සීයාද ඇබ්බැහි වීම හාස්‍යයට මෙන්ම පුදුමයට කරුණක් වී තිබුණද, අද සත්‍යය එයයි. ඔවුන්ට එය විටෙක විනෝදාත්මක දෙයක් වීමට හැකිය. අද වන විට මෙවැනි තත්ත්වයක් උද්ගත වී ඇත්තේද නව ජංගම දුරකථන වෙළඳ පොළෙහි විකිණීමට තිබීමත් හා අතීතයේ පැවැති එකිනෙකා අතර පැවැති සහසම්බන්ධතාවයන් ක්‍රමයෙන් අද වන විට දුරස් වීමත් හෙයිනි. එවිට ඕනෑම අයෙකු තමාටම කියා දුරකථනයක් භාවිත කිරීමට කැමැත්තක් දක්වන්නේය. මේ නිසා වයස් භේදයකින් තොරව බාල මහළු සෑම කෙනෙකුම අධික මුදල් වියදම් කර ජංගම දුරකථන මිළදී ගනියි. ඒ හරහා එකිනෙකා අතර ගොඩනැඟෙන සම්බන්ධතාවය ඉහළ යෑමක් අපට දැක ගත හැකිය. නමුත් මේ නිසා සිදුවන අනතුරු විනාශ ඒ අනුවම ඉහළ යන බව සමාජයේ බොහෝ දෙනෙක් පවසති. එය සත්‍යයක් වුවද සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට යෑම අතින් තවමත් අප ප්‍රමාදය. 

වෙනස්වන ලෝක යථාර්ථය සමඟ මානව සමාජයේ අපේක්ෂා හා අවශ්‍යතාද පරිණාමය වේ. ඒ අනුව සන්නිවේදන අවශ්‍යතාවයද එක් වී ඇති බව මුලින්ම වටහා ගනු ලැබුවේ නෙල්සන් මැන්ඩලා ය. 1995 දී දකුණු අප්‍රිකාවේ නව ජංගම දුරකථන ජාලයක් විවෘත කරමින් ඔහු කළ කථාවක පවසා සිටියේ “එකිනෙකා සමඟ සබඳතා පවත්වා ගැනීමට අප කවුරුත් ඉතා කැමතියි. එය මූලික මානව  අවශ්‍යතාවයක්” යනුවෙනි. එමඟින්ද අපට තහවුරු කෙරෙන්නේ ජංගම දුරකථනය වනාහි ජීවිත විනාශ කරන්නට හඳුන්වා දුන් උපකරණයක් නොව එකිනෙකා අතර සහසම්බන්ධතා ගොඩනඟා ගැනීමට උදව් වන උපකරණයක් බවයි. 
  
ඒ අනුව ජංගම දුරකථනයක් භාවිත කිරීම අනුවණ ක්‍රියාවක් යැයි කිසිවෙකුට පැවසිය නොහැක. සංවර්ධිත රටවල් අතර ඇමරිකාව, චීනය වැනි රටවල දුරකථන නිෂ්පාදනය හා අළෙවිය තරඟකාරීව සිදු කෙරේ. එරට ජනතාවද ජංගම දුරකථන භාවිතය වැඩි වශයෙන් දැක ගත හැකිය. නමුත් අපේ රට තරම් සෙල්ෆි මාෆියාවකට ජීවිත බිලි දීමක්නම් මේ වන තෙක් ඒ රටවල්වලින් වාර්තා වී නොමැත. “රටක සංවර්ධනය එරට වැසියාය.” ඒ නමුත් රටේ වැසියා ජංගම දුරකථනයක් භාවිත කළ පමණින් එරටට වන හානිය කුමක්ද? කළ යුත්තේ දුරකථනය නිසියාකාර භාවිතයට තබා ගැනීමය. සමාජයේ උගත් නූගත් සෑම කෙනෙක්ම ජංගම දුරකථනයට ඇබ්බැහි වීම නම් ජීවිත විනාශයට ප්‍රධාන හේතුවයි.

වර්තමාන බොහෝ තරුණ පිරිස් විවිධ මාදිලියේ ජංගම දුරකථන මිළදී ගැනීමේදී ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ දුරකථනයෙන් ඡායාරූප ලබා ගැනීමට පැහැදිලි කැමරාවක් අනිවාර්යෙන්ම තිබීමයි. ඒ අනුව SAMSUNG, OPPO, Apple, Lenovo ආදී විවිධ වර්ගයේ ජංගම දුරකථන මිළදී ගනියි. ඒ සඳහා අධික මුදලක් වියදම් කිරීමටද ඕනෑම අයෙකු දෙවරක් නොසිතයි. තරුණ කාන්තාවන් විලාසිතා කරන්නට දක්වන්නේ දැඩි කැමැත්තකි. ඒ නිසාම ඔවුන් විවිධ ඇඳුම් පැළඳුම් මිළදී ගැනීමට ඉහළ පන්තියේ කඩ සාප්පු වෙත යයි. එසේ යන ඔවුන්ට සෙල්ෆියක් අන්තර්ජාලයේ පළ කිරීමට ගත වන්නේ සුළු වේලාවකි. වැඩි මුදලක් වියදම් කර මිළදී ගත් ඇඳුම් ඇඳ ගත් විගස සෙල්ෆි ගසන්නට ඔවුන් අමතක නොකරයි. ඒ වගේම ෆේස් බුක් හෙවත් මුහුණු පොත හරහා එම ඡායාරූප පළ කරමින් යහළුවන්ගෙන් ඛසනැල ක්‍දපපැබඑ බලාපොරොත්තු වන්නේ තම පෞද්ගලික ජීවිතද මුදලට විකුණාය. ඒ තුළින් ඔවුන් ලබන්නේ මානසික තෘප්තියකි. බොහෝ පිරිස් එදිනෙදා සිදු කරන සියළු කාර්යයන් ෆේස් බුක් හරහා ප්‍රසිද්ධියට පත් කරයි. එසේ සිදු කරන්නේ තවකෙකුගේ ආධාරයක් අවශ්‍ය නොවන මේ සෙල්ෆි නම් වූ තවත් එක් ආකාරයක ස්වයං වින්දනය හරහාය. 

සෙල්ෆි ගැනීමට පෙළඹෙන ප්‍රමාණය දිනෙන් දින වැඩි වීමත් සමඟ වර්තමනයේ අපට බොහෝ ආන්දෝලනාත්මක හා ශෝචනීය සිද්ධීන් අසන්නට දකින්නට ලැබුණි. දෙමව්පියන්ට දරුවන් අහිමි වීම, ස්වාමියාට බිරිඳ අහිමි වීම පමණක් නොවේ, මේ මුළු රටක් වෙනුවෙන් සේවය කරන්නට ජනතාව වෙනුවෙන් බැඳී සිටි ඒ මහනුවර කුරුප්පුවල ප්‍රදේශයේ පදිංචිව සිටි වෛද්‍යවරයාද ශෝචනීය ලෙස මරණයට පත් වූයේ මෙම සෙල්ෆි ගැසීමේ ආශාව මතය. සෙල්ෆි ගැසීම වරදක් නොවේ. නමුත් අපි අපේ ජීවිතය ගැන පළමුව සිතිය යුතුය. සෙල්ෆි ගැනීමට ප්‍රථමව තමා සිටින්නේ කොහිද?, තමා අවට සිටින්නේ කවුද? යන්න වඩාත් සැළකිලිමත් විය යුතුය. ඒ සඳහා යහපත් මානසිකත්වයක් පැවතීම අනිවාර්ය වේ. විශේෂයෙන්ම දුම්රිය මාර්ගයේ සෙල්ෆි ගැනීම අවදානම් බව මතක තබා ගත යුතුය. 

මේ සෙල්ෆි මාෆියාවෙන් මේ වන විට මාරයාට බිලි  ඇති ජීවිත ප්‍රමාණය කීයක්දැයි මෙහොතකට ඔබත් සිතා බලන්න. සෑම අයෙකුටම නිදහසේ ජංගම දුරකථන භාවිත කළ හැකි අවධියක ඒ නිදහස මරණයට අත වැනීමක් නොවන්නට හැම විටෙකම කල්පනාකාරී වන්න.

මෙවැනි සෙල්ෆි ගැනීමෙන් වළකින්න 






     










Monday, June 19, 2017

නිවසේ ගෘහණිය ඉලක්ක කර ගත් සෝප් ඔපෙරා

සෝප් ඔපෙරා හෙවත් සබන් නාට්‍ය කියන්නේ තවත් එක් සුවිශේෂී නාට්‍ය විශේෂයක්. මේ නාට්‍ය වර්ගය අපි මුලින්ම හඳුනා ගන්නේ ගුවන් විදුලි මාධ්‍ය තුළින් වගේම රූපවාහිනි මාධ්‍ය තුළින්. නමුත් තව දුරටත් අධ්‍යයනය කිරීමෙන් අපිට තහවුරු කළ හැකි වැදගත් කරුණක් තමයි මේ සෝප් ඔපෙරා ඒ මාධ්‍යයන් දෙකේ පළ වීමට කළින් පුවත්පත්වල නව කතා කොටස් වශයෙන් හා සිනමා නිර්මාණ කොටස් වශයෙන් පළ වී තියෙන බව. මේ කරුණුවලින් සනාථ කෙරෙනවා සෝප් ඔපෙරාවක් කියන්නේ ඉතාමත් දිගු නාට්‍ය විශේෂයක් කියල.

රොබට් ඇලන් නම් මාධ්‍ය විචාරකයා පවසා තියෙනවා සෝප් ඔපෙරාව ආර්ථික විධානයන් සඳහා සෑම කලකදීම ආඛ්‍යානාත්මක පඨිතයක් වන බව. එනම් වෙළඳ පොළෙහි අවශ්‍යතා පදනම් කරගෙනයි මෙම සෝප් ඔපෙරා නිර්මාණය වී තියෙන්නේ. මෙම නාට්‍ය විශේෂය නිවසේ කාන්තාව ඉලක්ක කර ගැනීම විශේෂයක්. ඒ අනුව කාන්තාවගේ නිදහස් කාල පරිච්ඡේදය ඒ සඳහා වෙන් වී තියෙනවා. 30 දශකයේ මුල් භාගයේදී සිදු කෙරෙණු සමීක්ෂණයකට අනුව ගෘහණියන් ඉතා හොඳ ඉලක්ක ග්‍රාහක පිරිසක් හා වෙළඳ පොළක් බවට හඳුනා ගෙන තියෙනවා. එම සමීක්ෂණයේ ප්‍රථිඵල අනුව ගෙදර දොර භාවිත කරන උපකරණ අතරින් ගෘහණියන් රෙදි මදින ඉස්ත්‍රික්කයට අමතරව දෙවැනි ස්ථානය දී තිබුණේ ගුවන් විදුලියට බව හෙළි වී තියෙනවා. මුල් කාලයේදී කාන්තාවන් ගුවන් විදුලිය ඔස්සේ සෝප් ඔපෙරාවන්ට සවන් දීම නිසා එසේ පවසනවා. මේ අනුව සෝප් ඔපෙරාව මුළුමනින්ම ගෘහණියන් ඉලක්ක කර ගත් ගුවන් විදුලි වාණිජ නිෂ්පාදනයක් ලෙස හඳුනා ගෙන තියෙනවා.

සෝප් ඔපෙරාවේ ඇති වාණිජ ලක්ෂණ 03ක් ජේම්ස් එච්. විට්ටබෝල්ස් විසින් හඳුනා ගනිමින් ඉදිරිපත් කර තියෙනවා. . එනම්,

නිෂ්පාදනය කිරීමට වැය වන පිරිවැය අඩු වීම.
ග්‍රාහකයන් රඳවා තබා ගැනීමට ඇති ඉහළ හැකියාව.
මාධ්‍ය ආයතන සඳහා වෙනත් වැඩසටහන්වලට සාපේක්ෂව ලාභදායී වීම.

මෙම වාසි ලබා ගනිමින් අපට මුල් කාලීනව දක්නට ලැබුණු සෝප් ඔපෙරාවක් වූයේ “දූ දරුවෝ”. සෝප් ඔපෙරාවක ලක්ෂණ පිළිඹිබු කෙරෙන නාට්‍ය වර්තමානයේ අපට දක්නට ලැබෙන්නේ මෙගා ටෙලි නාට්‍ය වශයෙන්. නමුත් අපට පුළුවන් එම නාට්‍ය සෝප් ඔපෙරා වශයෙන් හඳුන්වන්න. මේ නාට්‍ය තුළ එක් සුවිශේෂී කාන්තාවක් කැපී පෙනේ. දූ දරුවෝ නාට්‍යයෙහි “දීප්ති” යන චරිතය ඒ නාට්‍යයෙහි විශේෂිත විය. ඒ සඳහා රංගනයෙන් දායකත්වයෙන් ලබා දී ඇත්තේ නිල්මිණි ෆොන්සේකා මහත්මිය. ඇය පවසා තියෙනවා එම නාට්‍ය තුළින් ඇය බොහෝ අතදැකීම් ලබා ඇති බව. ඇය එලෙස පවසා සිටින්නට ඇත්තේ එම නාට්‍ය බොහෝ කාලයක් විකාශනය වීම නිසා වෙන්නට පුළුවන්. ඕනෑම නළුවෙකුට සහ නිළියකට තම රංගන ජීවිතය තුළ අත්දැකීම් බහුල වීමට නාට්‍යයක නිෂ්පාදන කාල සීමාව අනිවාර්යයෙන්ම බලපානවා. සෝප් ඔපෙරාවක නිරූපිත නළු නිළියන් ලබන අත්දැකීම් සාමාන්‍ය ටෙලි නාට්‍යයක රඟපෑමෙන් ලබා ගත නොහැකි වීම ඊට හේතුවයි. 

වර්තමාන රූපවාහිනී ටෙලි නාට්‍ය කලාවට අවධානය යොමු කළොත් අපට පුළුවන් දැක ගන්න එවැනි සෝප් ඔපෙරා. දෙරණ, හිරු හා සිරස රූපවාහිනී නාළිකා ඔස්සේ එවැනි නාට්‍ය බොහොමයක් අපට දැක ගත හැකි වෙනවා . එක් නාට්‍යයක් විනාඩි 30ක කාලයක් විකාශනය වෙමින් සම්පූර්ණ පැය දෙකක් හෝ ඊට වැඩි කාලයක් මෙම නාට්‍ය විකාශනය වෙනවා. ඒ ආකාරයට මීට පෙර සිරස නාළිකාවේ “රන් දෙපැය” වෙන් වූයේ මහ ගෙදර, වසූදා, ප්‍රවීණා යන නාට්‍ය වලටයි. අද වන විට අපට සෝප් ඔපෙරා වශයෙන් දැක ගත හැකි වන්නේ ආදරෙයි මං ආදරෙයි, සඳහටම ඔබ මගේ, මේ ආදරයයි, ස්වප්නා ආදි නාට්‍යයයි.  මේ සෑම නාට්‍යයකම එක් සුවිශේෂී කාන්තාවක් කැපී පෙනෙනවා. ඒ අනුව අද හැමදෙනාම අතර ප්‍රසිද්ධ චරිත වන්නේ ඉහත කතාවල රඟපාන ඉෂාණි, ස්වප්නා, ඉෂිතා ආදී චරිතයි. මෙම සෝප් ඔපෙරාවල කාන්තාව ඉලක්ක කර ගැනීමට යොදා ගත් ක්‍රමෝපායන් බොහෝ තියෙනවා. ඒ නිසා තමයි වර්තමාන කාන්තාව මෙම නාට්‍ය නැරඹීමට විශේෂ හේතුව. ඒ අනුව,

අලංකාර ඇඳුම් පැළඳුම්
අලංකාර ලෙස පිළිවෙළකට සකසන ලද නිවෙස්
නිර්භීත කාන්තාවක්
තම ස්වාමියා හෝ පෙම්වතා වෙනුවෙන් දිවි පරදුවට තබා කටයුතු කරන කාන්තාවක්
ප්‍රධාන කාන්තාවට අමතරව අනෙක් කාන්තාවන්ද ආකර්ෂණීය ඇඳුමෙන් හා ආභරණවලින් සැරසීම

දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම එම නාට්‍ය කාන්තාවටම සුවිශේෂ වීම ප්‍රධාන හේතුවක් වන්නේ කාන්තාවන් බොහෝ ප්‍රිය කරන ආකාරයේ ඇඳුම් පැළඳුම් එමඟින් දැක ගත හැකි වීමයි. නිවසටම හැඳ සිටින ඇඳුමෙන් හදිසියේ නිවසින් පිටත යාමටද හැකි වන පරිදි එම ඇඳුම් නිර්මාණය වී තිබීම එහි විශේෂත්වයක්. එම නාට්‍ය තුළ,

පවුල් ජීවිතය
පුද්ගල සම්බන්ධතා
ආවේගාත්මක හා සදාචාරාත්මක ගැටුම්

යන වස්තු විෂයන් ඔස්සේ එම කතාංග ගෙතී තියෙනවා. සෝප් ඔපෙරාවන් ලෙස හඳුනා ගන්නා මෙම නාට්‍යයන්ට විෂය කර ගන්නා කතා පුවත් කිසියම් පවුලක් හෝ ඊට සම්බන්ධ ඥාාතීන්, හිත මිතුරන් එසේත් නැතහොත් කාර්යාලයක් හෝ සම්බන්ධ ජීවත් වන අසල්වාසීන් පිරිසක් ආදී වශයෙන් වු සමාජ කණඩායම් වටා කතාව ගලා යෑමක් අපට දැක ගන්න පුළුවන්. ඒ තුළ එදිනෙදා සාමාන්‍ය ජන ජීවිත පිළිඹිබු කරලීම තුළ කාන්තාවන් තව දුරටත් ඒ කෙරෙහි ආකර්ෂණය වීමක් සිදු වෙනවා. ඒ නිසා මෙම නාට්‍ය නැරඹීමට බොහෝ කැමැත්තක් දක්වන කාන්තාවන් රාත්‍රියේ ආහාර පිසින අතරතුරදී වුව නාට්‍ය නැරඹීම දක්නට පුළුවන්. මෙම නාට්‍ය එක දවසක් හෝ නොබැලුවාට තේරුම් ගැනීමේ අපහසුවක් නෑ. දින කිහිපයක් නොබලා අතරමඟදී බැලූ පමණින් තේරුම් ගත හැකි වන පරිදි මෙම නාට්‍ය නිර්මාණය වීමත් කාන්තාවන්ට පහසුවකි. මන්ද නිවසේ ගෘහණියන් දිනපතා නිවස තුළ සිදුකරන කාර්යයන් සමඟ නාට්‍ය නැරඹීම විටෙක මඟ හැරෙන්නට ඉඩ තියෙනවා. ඒ නිසා කාන්තාවන් කවදා කොතනින් කතාව නැරඹීමට පටන් ගත්තද ඔවුන්ට කතාව තේරුම් ගැනීමට හැකි වීම නිසාම ඔවුන් මෙම නාට්‍ය නැරඹීමට විශේෂ කැමැත්තක් දක්වනවා.