Monday, May 22, 2017

නවීකරණයේ පෙරළිය

රටක දියුණුවත් පරිහානියත් රඳා පවතින්නේ ඒ රටේ ජනතාව මතයි. එදා අතීතයට වඩා අද වර්තමානය වන විට මිනිසාට ඇත්තේ දියුණු මනසකි. මිනිසා උපතින්ම උසස් බුද්ධියකින් යුතු වන්නේය. දේශපාලන විද්‍යාවේ පියා වන ඇරිස්ටෝටල් පවසා ඇත්තේද “මිනිසා වනාහි උපතින්ම දේශපාලන සත්ත්වයෙකු” වන බවයි. මෙකී සත්ත්වයා වර්තමාන තරඟකාරී තත්ත්වයට මුහුණ දෙන්නේ රටම ආන්දෝලනාත්මක තත්ත්වයකට පත් කරමිනි. මේ නිසා නවීකරණයට ලක් වී ඇති වර්තමාන මිනිස් සමූහය සත්ත්වයින් තරම්වත් යුතුකම් නොදන්නා පිරිසක් බවට පත්ව ඇත.
ලෝකයේ රටවල් අතර ශ්‍රී ලංකාව යනු තුන්වෙනි ලෝකයේ රටකි. එවන් ත්ත්වයක පවතින ලංකාව තවමත් දියුණු වෙමින් පවතින රටවල් අතර ප්‍රමුඛස්ථානයේ සිටියි. මෙරට මිනිසුන් අතර එකමුතුකම, සුහදශීලීත්වය, පරෝපකාරය වැනි උතුම් ගුණාංග මිනිස්කම තුළින් ගිලිහී  ගොස් වෛරය, ක්‍රෝධය, ආත්මාර්ථකාමීත්වය ආදී දුර්ගණ මතුව ඇත. මේ හේතුවෙන් ලංකාව කෙදිනක සංවර්ධිත රටක් ලෙස හඳුනා ගැනීමට හැකි වේදැයි සිතිය නොහැකිය.

ගෝලීයකරණයට හසු වූ මිනිසා ආර්ථිකමය, සමාජයීමය වශයෙන් බොහෝ ඉදිරියට ඇදී ගියේය. මිනිසා විසින්ම නිපදවන ලද යන්ත්‍රෝපකරණ, ඉහළ නිෂ්පාදන හා අළෙවියක් දැක ගත හැකි වීම තුළ ලංකාවේ විවිධ වෙනස්කම් සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසා නවීකරණයට බඳු වීම ප්‍රබල කාරණයක් විය. රටෙහි සංස්කෘතිය පහළ වැටීමත් ඒ තුළින් මිනිසාගේ මිනිස්කම ගිලිහී යාමත් නවීකරණයේ ප්‍රතිඵලයක් විය. විශේෂයෙන්ම භාෂාව, ඇඳුම් පැළඳුම්, ආහාර, විවිධ විලාසිතා ඔස්සේ මිනිසා නවීකරණයට ලක් විය.

නවීකරණය තුළ ආචාර ධර්මයන්ට ප්‍රමුඛතාවය නොදුන් මිනිසා සංස්කෘතිමය වටනාකමින් ඔබ්බට ගොස් භාෂාව හසුරවන්නට හැඩගැසුණු විලාසය ඛේදජනක විය. සිංහල භාෂාවට මිශ්‍ර වූ ඉංග්‍රීසි භාෂාව භාවිතයට අපි හුරු වූයේ නවීකරණ ලෝකය තුළ ය. එය සාමාන්‍ය ව්‍යවහාරය තුළ සිංගිරීසි භාෂාව ලෙස නම් කෙරිණි. එදා පැවැති “ආයුබෝවන්” යන්නෙන් කෙනෙක්ව පිළිගැනීම තුළ දක්නට ලැබුණේ සුහදශීලීත්වයයි. නමුත් අද වන විට පිළිගනු ලබන්නේ “හායි” වශයෙන් පවසාය. මේ තුළ කිසිම සමීප බවක් නොදැනේ. හමුවීම හායි වශයෙන්ද වෙන්වීම බායි වශයෙන්ද හසුරුවන්නට පුරුදු වූ මේ සමාජය තුළ සිංහල ගීතයද එලෙසින්ම රචිත විය. “හායි ඔයාලා යනවද බායි කියාලා” ගීතයේ පද රචනා වීම ඊට එක් උපහැරණයකි. මෙය කෙතරම් දුරට නවීකරණයත් සමඟ ඇති වූ භාෂාවේ ආන්දෝලනාත්මක තත්ත්වයක් වේද?

අතීතයේ දණහිසෙන් පහළට හැඳ ගත් ඇඳුම් අද වන විට දණහිසෙන් ඉහළට ඇඳීමට පුරුදුව ඇත. කෙනෙකුගේ චර්යාව එසේත් නැතිනම් හැදියාව පිළිබිඹු කරලන සංකේතයක් ලෙස ඇඳුම හැඳින්විය හැකිය. නවීකරණයත් සමඟ හැඩගැසෙන තරුණ පරම්පරාව අතර විශේෂයෙන්ම කාන්තා පාර්ශවය මෙම ඇඳුම්වි ලාසිතා අතර ප්‍රමුඛස්ථානයේ සිටියි. ළමා, තරුණ, වැඩිහිටි, මහළු යන වයස් කාණ්ඩයන්ට ඔබින ඇඳුම් වෙන් වෙන්ව තිබුණද වර්තමානයේ වයස් භේදයකින් තොරව විවිධාකාර ඇඳුම් ඇඳ ගනිමින් කැපී පෙනෙන්නට උත්සාහ කරයි. ඒ අතර වැඩිහිටි කාන්තාවන් තරුණ ගැහැණු ළමයින්ට වෙන්ව ඇති ඇඳුම් ඇඳීමට එක්තරා ආකාරයකට විලාසිතාවක් කරගෙන ඇත.

බොහෝ සෙයින් කාන්තාවෝ විලාසිතා කරන්නට ආශා දක්වති. ඒ තුළින් තමන්ගේ රූප සම්පත්තිය අලංකරණය කර ගැනීමට බොහෝ කාලය වැය කරන කාන්තාවෝ වෙති. විශේෂයෙන්ම මෙවැනි නවීකරණයකට ලක් වන කාන්තාව අනුකරණයට ලක් කර ගන්නේ පිටරට ද්‍රව්‍යයන් හෝ පිටරට වෙසෙන නළු නිළියන්ගේ හැසිරීම් රටාව වේ. පිටරට භාෂාවට පමණක් නොව විලාසිතාවන්ටද ලාංකීය ප්‍රජාව ඇබ්බැහි වූවා යැයි පැවසිය හැක. එසේ සිදු වූයේ බොහෝ කල් නොගොස්ය. මෙවන් තත්ත්වයක් අප රට තුළ පවතිද්දී අපේ රටේ උගතුන් රටේ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට පියවර ගෙන තිබෙනවා යන්න පැවසීම හාස්‍යයට කරුණකි.

මේ අන්දමින් අපේ සංස්කෘතිය තුළ මිනිසාගේ මිනිස්කම ගිලිහී යන්නට තවත් අන්දමකින් ආහාර රටාවේ වෙනසද බලපා ඇත. වර්තමානයේ පහසුව විනා ලාභ ප්‍රයෝජන පිළිබඳ නොසිතා විවිධ ආහාර රටාවන්ට පුරුදු වී ඇත. එදා අතීතයේ මෙන් ගමේ පොළට ගොස් එළවළු, පළතුරු වර්ග මෙන්ම නිවසට අවශ්‍ය සියළු බඩු රැගෙන ආ යුගයක් යළිත් උදා නොවනු ඇත. අද නවීකරණ ලෝකයේ ආහාර මෙන්ම අනෙකුත් දෑ අධික මුදල් වියදම් කොට ලබා ගැනීමට පෙළඹෙයි. ඒ අනුව ෆුඞ් සිටි, කාර්ගිල්ස්, ආපිකෝ, මැක්ඩොනල්, පීසා හට් ආදිය වෙත ඇදී යන්නේ බහුල වශයෙනි.

අතීතයේ අපේ අත්තම්මා, සීයා සතියේ පොළට ගිය විට වෙළෙන්දන් ඔවුන්ට දැක් වූ ගරුත්වය අද වන විට දක්නට නොමැත. පාරිභෝගිකයාගේ වටිනාකම හඳුනා නොගත් ව්‍යාපාරික ප්‍රජාවක් අද බිහිව ඇති හෙයින් අපේකම මිනිසා තුළින් පහව ගොස් ආඩම්බර බව, උඩඟු බව ඉස්මතු වී ඇත.
රටකට නවීකරණය වැදගත් වන්නා සේම මිනිස්කම ද වැදගත් වනු ඇත. එනිසා තමාගේ දියුණුව වෙනුවෙන් මිනිස්කම විකුණනවා නොව කළ යුත්තේ මිනිස්කමත් සමඟින් නවීකරණයට මුහුණදීමයි. ඒ තුළින් තමාටත් රටටත් යහපතක් වනු ඇත.


















10 comments: