මිනිස් ජීවිතය වනාහි “අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වූ ජීවියෙකුගේ සසරෙහි තාවකාලික නවාතැන් පොළකි.” එදා බුදුන් සමයේ ජීවිතය කළකිරුණු මිනිස් ප්‍රජාව බුදු හිමියන්ගේ පිහිට පැතීය. බුදු හිමි වදනින් සිත් සුවපත් කර ගත්තේය. “පිරුණු කළේ දිය නොසිඳෙයි” පවසනවා සේ එදා සැවොම ධර්මයෙන් සිත් පුරවා ගත්තේ අමා මහ නිවන් මාර්ගය අවබෝධ කර ගැනීමේ පරමාර්ථයෙනි.
වර්තමාන සමාජය ඒ අනුව පිරිහීමට පත්ව ඇත්තේ ය. තම ජීවිතයේ අරුත වටහා නොගත් මනුෂ්‍යයින් සේ ජීවිතය නිකරුණේ විනාශ කර ගැනීම අද දක්නට ලැබෙන්නේ ඇසට කඳුළක් ද එක් කරමිනි. “පනින්න පෙර සිතා බලන්න” එදා පැවසුවද අද පවසන්නට වී ඇත්තේ “තියන්න පෙර සිතා බලන්න”යනුවෙනි. සමාජය මෙතරම් කුරිරු තත්ත්වයකට පත් වූයේ කෙසේදැයි යන්න කා හටවත් පිළිතුරු නොමැති පැනයක් ඇති කරමින් අද වර්තමානයේ බොහෝ තරුණ ගැහැණු ළමයි දුම්රියට පැන සිය දිවි හානි කර ගැනීම පුරුද්දක් කර ගෙන ඇත. ඒ නිසාම ඉදිරියේදී සියල්ලන්ගේ අවධානය පිණිස දුම්රියේ පෝස්ටර් ගැසීමට සිදු වෙනවාට කිසිඳු සැකයක් නැත.
අනාගත ලොවක් භාර ගැනීමට පෙර මං බලා හිඳිනා පුංචි මල් කැකුළුවන් තරුණ රූමත් ගැහැණු ළමයි මෙලෙස යකඩ යකා ඉදිරියේ තම ජීවිතය අමු අමුවේ බිිලි දීම කාටනම් ඉවසිය හැක්කක්ද? මෙවැනි අනුවණ ක්‍රියාවකට පෙළඹීමට මූලිකම හේතුවක් වී ඇත්තේ ප්‍රේම සබඳතාය. තම පෙම්වතා තමාව අතහැර වෙනත් තැනැත්තියක් පෙම්වතිය කර ගැනීම නිසා ඇති වන ක්ෂණික වේදනාව, කෝපය, තරහව හා ඊර්ෂි්‍යාව යනාදී මෙම දුර්ගුණ මත මෙවැනි ක්ෂණික තීරණයකට පෙළඹෙන බව තහවුරු වන්නකි. මෙතරම් දරුණු තීරණයකට මනස ඇදී යාම තුළම මනස කෙතරම් වියවුල් වනවාදැයි ඔබත් මොහොතකට සිතන්න.
වයස අවුරුදු 18-28ත් පමණ වයසේ පසුවන ඕනෑම තරුණියකගේ සිහිනය පෙම්වතියෙකු වීමය. ඒ සිහිනය සැබෑ වී පසු කලෙක එය සිහිනයක්ම වුවහොත් එය මහා සැඩ පහරක් ගලාවිත් තමා මෙපමණ කාලයක් රැස් කළ ධනය විනාශ කළේ නම් එවිට දැනෙන වේදනාව හා සමාන වන්නේය. ඒ නිසයි ඉවසාගත නොහී වේදනාවෙන් තම ජීවිතවලින් වන්දි ගෙවීමට ඔවුන් පෙළඹෙන්නේ.
ජීවිතය අකාලයේ යකඩ යකාට හසු වී හිස කඳින් වෙන් වන තෙක් බලා හිඳින්නට හැකි තරම් ආත්ම ශක්තියක් ඔවුන්ට ලැබුණේ කාගෙන්ද? ඔවුන් පළි ගත්තේ තම ජීවිතයෙන්ද? එසේත් නැතිනම් සමස්ථ සමාජයෙන්ද? ඔවුන්ට මෙවැනි අසාධාරණකම් වෙනතුරු බලා සිටියා මිසක් කවුරුන් එයට පිළිතුරු සෙව්වේද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලබා දිය හැක්කේ මටවත් ඔබටවත් නොවේ. ඔවුන්ටම යැයි සිතෙන්නේද? එසේ නම් ඔවුන් යළිත් පණ ලැබිය යුතුද? එසේත් නැතිනම් නැවතත් ජීවිතයක් අකාලයේ මියැදීමට නොදී එවැනි තත්ත්වයන් යළිත් නොවෙන්නට මේ සමාජය බුද්ධිමත් කළ යුතුද? සියල්ලන්ම තවදුරටත් මේ පිළිබඳව සිතිය යුතුය. පිළිතුරු ඇති දා ප්‍රශ්න මියැදී යයි.
කිසිදිනෙක තම ජිවිතය කවුරුන් නිසාවත් බිලි නොදෙන්නට අදිටන් කරගන්න. දසමාසයක් තමාව කුසේ දරා සිටියා වූ තම මව් සිතින් මවා ගන්න. දහසක් දුක් කරදර මැදින් තමාව පෝෂණය කළ පිය සෙසෙහසේ වටිනාකම සිතන්න. කෙටි කාලයක් තුළ තම අතක් ස්පර්ෂ කළ පමණින් ඔහු ඔබේ ජීවිතයට සමාන නොකරන්න. හැම විටෙකම සිතින් සිතන්න, බුද්ධියෙන් විමසන්න. එවිට ඔබටත් දවසක හිරු පායාවි.